Monday, November 28, 2011

විෂබීජ.......

මේ දවස්වල TV එකේ ජනප්‍රියම මාතෘකාව විෂබීජනේ.... අත සෝදන්න අර සබන් හොඳයි.... ඊට වඩා මේක ඉක්මන්.... දිනකට වතාවක් මේවා දාලා ටොයිලට් එක සෝදන්න..... වගේ ලෝකෙනැති දේවල් ඇඩ් වලින් පෙන්නනවා.... 


අද මට පරණ පත්තරයක් බලනකොට "අපේ ජනතාව එදා ගෘහස්‌ථ විෂබීජ පාලනය කර ගත්ත විදිය" ගැන කියවුන ලිපියක් ලැබුනා. පහලින් තියෙන්නේ ඒ ලිපිය.... පත්තරය විදුසර, දිනය 2011අගෝස්තු 10, ලිපිය ලියල තියෙන්නේ උඩුගම එස්‌. ජයසුන්දර

---------------------


අපේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අහිතකරව බලපාන ලෙස ජීවීහු රැසක්‌ ම අප අවට පරිසරයේ ජීවත් වෙති.

මේ ජීවීන් ගෙන් ඇති විය හැකි විවිධ තර්ජනවලින් වැළකී සිටීමේ ක්‍රම අතීත සිංහල ජනතාව අතර ද ප්‍රචලිත ව පැවතිණි. නිවාස අතුගා පිරිසිදු කිරීමෙන් පසු බිමට කහ දියර ඉසීම දැනුදු ඇතැම් විට දක්‌නට ලැබෙන සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමයකි. කහ දියර විෂබීජ නාශක ගුණයෙන් යුක්‌ත බැවින් මින් යහපත් බලපෑමක්‌ ඇති වේ. මේ අතර නිවස පුරා විවිධ ඖෂධීය ද්‍රව්‍ය දැවීමෙන් පිට වන දුම් ඇල්ලීම ද සිදු කෙරිණ. ගිනි අඟුරු සහිත කබලකට පිරිසිදු දුම්මල දමා ඉන් පිට වන දුමාරය නිවස තුළ පතුරුවා ලීම මින් එක්‌ ක්‍රමයකි. මේ මගින් කාමරවල ගැවසුණු මැසි මදුරුවන් ආදී සතුන් පලවා හරින ලද අතර වාතයේ තිබූ විෂබීජ ද විනාශ විය. දුම්මල වෙනුවට කොහොඹ තෙල්, කොහොඹ කොළ, පැඟිරි කොළ, මදුරුතලා කොළ හා වෙනත් ඖෂධීය ද්‍රව්‍ය ද භාවිත කර මේ ආකාරයට දුම් ගැස්‌සීම මගින් ඔවුන් විසින් ගෘහස්‌ථ පරිසරය පිරිසිදු කර ගන්නා ලදි. විශේෂයෙන් ම මදුරුතලා කොළ පිළිස්‌සීම මගින් පිට වන දුම ඔවුන් විසින් භාවිත කරන ලද්දේ මදුරුවන් පලවා හැරීමට ය.

පරිසරයේ වැඩෙන විවිධ ශාකවල ඇති විෂබීජ නාශක ගුණ පිළිබඳව ඔවුහු අතීතයේ සිට ම දැනගෙන සිටිය හ. නිවසේ මකුළු දැල් කැඩීමට කැප්පිටියා කොළ මිටියක්‌ බැඳ සකස්‌ කළ ඉදලක්‌ බොහෝ විට භාවිත කරන ලදී. මේ මගින් මකුළු බිත්තර ද විනාශ වන බවට විශ්වාසයක්‌ ඔවුන් තුළ විය. මේ අතර ඇඳ මකුණන් විනාශ කිරීමට ඇඳෙහි පැදුරට යටින් කොහොඹ කොළ වැනි ඖෂධීය ශාක කොළ වර්ග ද අතුරන ලදී. විශේෂයෙන් ම බෝ වන රෝගයකින් පෙළෙන රෝගියකු ගේ ඇඳෙහි ද මේ ආකාරයට ම කොහොඹ කොළ අතුරන ලදී. කුඩා අත දරුවන් නැහැවීමෙන් පසු කොහොඹ තෙල් හෝ කොහොඹ කොළ දුම් ඇල්ලීම ද සිදු කරන ලද්දේ රෝග බීජවලට ලක්‌ වීමෙන් වළක්‌වා ලීම සඳහා ය. කෙනකුට බෝ වන රෝගයක්‌ වැළඳුණු විට අන් නිවැසියන්ට ද එය බෝ විය හැකි බව දැන සිටි එදා අප ගැමි ජනතාව ඒ බව සන්නිවේදනය කිරීම සඳහා නිවසේ ඉදිරිපිට කොහොඹ අතු කැබැල්ලක්‌ එල්ලා තැබූ හ. මේ නිසා රෝග පැතිරීම බොහෝ දුරට පාලනය විය.

ඔළුවේ වසන උකුණන් වඳ කිරීමට උලුහාල් හා ගොඩපර තම්බා ගත් වතුරෙන් හිසකෙස්‌ සෝදන ලද අතර ඒ මගින් උකුණන් මෙන්ම උන් ගේ බිත්තර ද විනාශ වන බව ඔවුහු දැන සිටිය හ. නිවසේ මුලුතැන් ගෙයි නිතර ගැවසෙන කැරපොත්තන් වඳ කිරීමට ග්ලිරීසිඩියා ශාකයේ මල් හා පැඟිරි ශාකවල කොළ ද භාවිත කරන ලදී. මේ අතර ඇඳුම් හා පොත්පත්වලට හානි පමුණුවන කාවන් ආදී සතුන් පලවා හැරීමට සැවැන්දරා මුල් වැනි ද්‍රව්‍ය ගබඩා කර ඇති අල්මාරි හා පෙට්‌ටි තුළ බහා තබන ලදී. සැවැන්දරා මුල් මගින් ඇඳුම්වලට නැවුම් සුවඳක්‌ ද එක්‌ විය.

ගම්බද නිවසක මුලුතැන්ගෙයි ඉදි කරන ලද අටුව ද විෂබීජ නාශක කුටියක්‌ විය. සෝදා ගත් වළං හා පිඟන් ආදිය යටි අතට හරවා අටුවෙහි තැබීම නිසා දර ලිපෙන් පිට වන දුම් වැදීම මගින් ඒවායේ දිලීරවල වර්ධනයක්‌ නො වී ය. බොහෝ ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීමට අටුවේ තබන ලද්දේ මේ නිසා ය. තට්‌ටු කීපයකින් යුක්‌තව අටුව සකස්‌ කළ අතර, හිඩැස්‌ ඇති වන ආකාරයට පුවක්‌ පටි හෝ කෝටු ඇතිරීමෙන් එම තට්‌ටු සකස්‌ කරන ලදී. මේ නිසා දර ලිපෙන් පිට වන දුම් අටුව පුරා ම හොඳින් පැතිරිණි.

එදා පැවැති ජෛව පාලන ක්‍රම මගින් ද අහිතකර සතුන් විනාශ වීමට ඉඩ සැලසිණ. නිවසක බළලකු ඇති කරන ලද්දේ මීයන් හා කැරපොත්තන් වඳ කරනු පිණිස ය. ඉඳහිට නිවසට පැමිණෙන ගැරඬියා මගින් ද මේ කාර්යය ඉටු විය. මේ අතර විසකුරු සර්පයන් ගේ පැමිණීම වළක්‌වා ගැනීමට ඇතැම් විට වත්තේ මායිම්වල ඖෂධීය වටිනාකමක්‌ ද ඇති සර්පයන් අප්‍රිය කරන පැළෑටි වර්ග ද වවන ලදී.

අතීත ජනතාව විසින් භාවිත කරන ලද මේ ගෘහස්‌ථ සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම කිසිවක්‌ මගින් පරිසරයට කිසි ම හානියක්‌ සිදු නො වීය. අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීම නිසා අතුරු ආබාධ හා අපහසුකම් ද ඇති නො වී ය. ඒ අතර බුදු දහමේ ආභාෂය ලබා සිටි ඔවුන් ගේ මේ පිළිවෙත් බොහෝ විට සත්ත්ව හිංසාවෙන් ද තොර ඉතා ම අහිංසක පිළිවෙත් ද විය. 


-------------------------


1 comment:

  1. ඇයි ඉස්සර ගෙවල්වල ගොමගාන්නෙ. ගොමමැටිගාපු ගෙබිම හරිම පිරිසිදුයි. කූඹි වගේ සත්තු එනව අඩුයි විශබීජ නෑ. ඇං ඉතිං කොයින්ද ඔව්ව! පොළව ටයිල් කලා විශබීජනාශක දාල මොප්කලා.
    හොද ලිපිය!

    ReplyDelete