Tuesday, November 15, 2011

ලොක්කයියා ගේ ළමා කාලය............

මීට කලින් දවසක් පොරොන්දු උනානේ ලොක්කයියාගේ ජීවිත කතා කියනවා කියලා.... මේ වැඩයි වෙන සිද්ධියි අස්සේ ඒක අමතකම වෙලා ගියා. අද උදේ හදිස්සියේම දුම දාගෙන යන මෝටර් සයිකලයක් දැකලා  මට ලොක්කයියව මතක් උනා....

මම මේක ලොක්කයියාගේ ළමා කාලය කියලා පටන් ගත්තට මොකද ඇත්තටම මේ සිද්ධිය වෙනකොට ලොක්කයියා ටිකක් ලොකුයි ඔය මෝටර් සයිකල් එහෙම පදින කාලේ.... අනික තමයි මීට අදාල කාලය විදියට මීට අවුරුදු 30 කට විතර ඉස්සර දවසක් හිතාගත්තට කමක් නෑ......

මේ කාලේ ලොක්කයියා ජීවත්උනේ කොළඹට නුදුරු පිටිසර ප්‍රදේශයකලු..... ඒ වගේම ලොක්කයියගේ තාත්තත් ගමේ හොඳට ඉඩකඩම් එහෙම තියන ඒ වගේම ගමේ ඉහල තත්වයක් තිබුන පුද්ගලයෙක්ලු.... ගමේ අය කතාකරේ "පොඩි මහත්තයා" කියලලු...

මෙහෙම දැහැමෙන් සෙමෙන් ජීවිතය ගෙවන අතරේ අපේ පොරට ආවලු තමන්ගේ විතරක් නෙමේ මුලු පවුලෙම නම්බුව නැති කරපු ඒ සුපිරි අයිඩියා එක.... මොකක්ද දන්නවද???? 

"ගමන් බිමන් වල පහසුවට මෝටර් සයිකලයක් ගන්න එක"

කොහොම හරි ඔන්න පොර දුක් විඳලා සල්ලි හොයාගෙන පරණ බයික් කටුවක් ගත්තා කියමුකෝ.... ඊට පස්සේ තමයි කතන්දරේ ‍හොඳම හරිය එන්නේ.....


දැන් මේ බයික් එක දුවන්නේ භූමිතෙල් වලින් (අර සිංහලෙන් Kerosene කියන්නේ... සමහර අය ලාම්පුතෙල් කියලත් කියනවා)

සමහර වෙලාවට භූමිතෙල් වලින් දුවන පරණ ජෙනරේටර් එහෙම දැකල තියන අය දන්නව ඇතිනේ ඒ ළගින් එන සුවඳ... ඒ වගේම සුදු පාටට එන ලස්සන දුම... කොහොමද කියලා. දැකල නැතිනම් මතක් කරගන්නකෝ අර නගර සභාවෙන් මදුරුවන්ට දුම් ගහන මැෂින් එක.......


අපේ පොරත් දැන් මේ බයික් එකේ නැගලා ගමවටේ ඇවිදිනවා...... හැබැයි මේ ගමන් වලදි ලොක්කයියට අදුරන අය එහෙම හමුවෙනවා අඩුයි. මොකද පොර එනවා දකින යාළුවෝ දුවල ගිහින් හැංගෙනවානේ... ඇයි අප්පා කාටද පුළුවන් අර දුමයි ගඳයි උහුලගෙන ඉන්න.... අපේ එකාට නම් මොකද ඌ දුමට කලින්නේ යන්නේ...

හැබැයි ලොක්කයියා එන දවසට එහෙම උනාට පොර දකින්න නැති වෙනකොටත් ගමේ මිනිස්සුන්ට සාංකාව වගේ..... වැරදිලාවත් පොර සතියකින් විතර ගමේදි දැක්කේ නැතිනම් මිනිස්සු ඒ ගැනත් හොයලා බලනවා.... හැබැයි අහන්නේ ලොක්කයියගේ තාත්තගෙන්....

"පොඩි මහත්තයා... මොකද පොඩි පුතා එහෙම පහුගිය ටිකේ මේ පැත්තේ පේන්න හිටියේ නැත්තේ..??? මිනිහ ඉන්නව නම් අපේ ගෙවල් පැත්තේ ටිකකට එන්න කියන්නකෝ.... ගෙදර වත්තේ මදුරුවෝ පිරිලා.... මිනිහ ලඟ තියනවනේ මදුරුවන්ට දුම් ගහන මැෂිමකුත් ......."

කොහොමින් කොහොමින් හරි අපේ ලොක්කයියව "පොඩි මහත්තය‍ගේ පොඩි පුතා" කියලා හඳුන්වපු ගමේ අය අළුත් විශේෂණ පදයකින් පොරව හඳුන්වන්න ගත්තා.... 

"පොඩි මහත්තය‍ගේ භූමිතෙල් පුතා"

ඔහොම ගිහින් පොඩි මහත්තයත් "භූමිතෙල් පොඩි මහත්තයා" වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි පොර පුතාට බකට් එක ඇද්දා..... "ආයෙ එහෙම ඔය බයික් එක පැදලා තිබුනොත් ඒකට ගිනි තියනවා...." කියලා

ඉතින් අන්තිමේ ලොක්කයියත් වෙන කරන්න දෙයක් නැතිකමට තමන්ගේ කුළුඳුල් බයික් එක විකුණලා දාලා ටිකක් හොඳ වෙන බයික් එකක් ගත්තලු... හැබැයි ඒක භූමිතෙල් වලින් දුවන්න බැරිලු.... 

කොහොම හරි ඊට පස්සේ ගෙදර ඇහෙන සංවාද මේ වගෙයි;

පුතා : තාත්තේ මට බයික් එකට පැට්‍රල් ගහන්න රුපියල් 10ක් දෙන්නකෝ
තාත්තා : ඇයි යකෝ මගෙන් සල්ලි ඉල්ලන්නේ.... උඹ මහලොකුවට බයික් ගත්තට නඩත්තු කරන්න බැරිද?
පුතා : ඉතින් තාත්තේ මට කරගන්න පුළුවන් විදියට ගැලපෙන්න තමයි කලින් බයික් එක ගත්තේ.... තාත්තගේ ඕනෙකමටනේ ඒක විකුණලා මේක ගත්තේ.... තාත්තට සල්ලි දෙන්න බැරිනම් කියන්න... මම ආයෙ ඒ ජාතියෙ බයික් එකක් ගන්නම්.
තාත්තා : එපා එපා.... එහෙනම් මේ සල්ලි තියාගනිංකෝ පෙට්‍රල් ගහන්න...

කොහොම හරි.... ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් උනාලු.


ප.ලි.

ලොක්කයියාගේ ජීවිත කතාවේ තවත් පොඩි වැදගත් කොටසක් තියනවා. ඒක දැම්මොත් මේ පෝස්ට් එක දිග වැඩිවෙන හින්දා ඒ කෑල්ල හෙට වෙනම පෝස්ට් එකකින් දාන්නම්.

2 comments:

  1. අඩේ . . අදමයි බං මේ පැත්තෙ ආවෙ . . . සිරා කතාව . . . මට මගෙ කොල්ලව මතක් උනා. කොල්ල කියන්නෙ මගෙ බයික් එකට (කැලිබර් ක්‍රෝමා 110) මම දාල තිබුන නම. එහෙම නමක් දාන්න හේතුව .. . මගෙ ඕනෙම වරත්තු ගමනකට, වැඩකට නෑ බෑ නොකිය මගෙත් එක්ක එන එකම එකා නිසයි.

    ප.ලි.
    මේ පෝස්ට් එක කියවද්දි වෙලාව . . පාන්දර 2.10යි . . . මට වෙලාව ලැබෙන විදියට ඉතුරු කතා ටිකත් කියවන්නං

    ReplyDelete
  2. Thanks මචං.... ඇත්තම කීවොත් අපේ ලොක්කයියා තවමත් යන්නේ බයික් එකේ.... Officeඑකෙන් රෝද 4ක් දුන්නහමත් ඒක එපා කීවා...

    ReplyDelete