Wednesday, November 30, 2011

අපි කැමති සින්දු....

අද TV ඇඩ් ගැන කතා කරනකොට කස්ටිය කතාඋනා මේ දවස්වල පෙන්නන ලස්සන Mobitel ඇඩ් ටිකක් ගැන. ඒ නිසා අමාරුවෙන් ඒ ඇඩ් ටික හොයාගත්තා. මෙයින් එකක් දෙකක් මම දැකල තිබුනත් සමහර එවා නම් දැක්කේ නෑ.... 


මම හිතන්නේ දැනට තියෙන්නේ මේ ඇඩ් 5 විතරයි කියලා... ඒ නිසා අපේ අය ඡන්දයෙන් තෝරපු පිළිවෙලට ඒ ටික ‍පහලින් දානවා


1. ඉබ්බා කැමතිම සින්දුව


2. කිඹුලා කැමතිම සින්දුව


3.  බකමූනා කැමතිම සින්දුව


4. කනාමැදිරියා කැමතිම සින්දුව


5. ගෙම්බා කැමතිම සින්දුව


කවුරු උනත් මේ ඇඩ් හදපු මනුස්සයා නම් මරු.....




ප.ලි.


මේ තියෙන්නේ මම කැමතිම සින්දුව

Monday, November 28, 2011

විෂබීජ.......

මේ දවස්වල TV එකේ ජනප්‍රියම මාතෘකාව විෂබීජනේ.... අත සෝදන්න අර සබන් හොඳයි.... ඊට වඩා මේක ඉක්මන්.... දිනකට වතාවක් මේවා දාලා ටොයිලට් එක සෝදන්න..... වගේ ලෝකෙනැති දේවල් ඇඩ් වලින් පෙන්නනවා.... 


අද මට පරණ පත්තරයක් බලනකොට "අපේ ජනතාව එදා ගෘහස්‌ථ විෂබීජ පාලනය කර ගත්ත විදිය" ගැන කියවුන ලිපියක් ලැබුනා. පහලින් තියෙන්නේ ඒ ලිපිය.... පත්තරය විදුසර, දිනය 2011අගෝස්තු 10, ලිපිය ලියල තියෙන්නේ උඩුගම එස්‌. ජයසුන්දර

---------------------


අපේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අහිතකරව බලපාන ලෙස ජීවීහු රැසක්‌ ම අප අවට පරිසරයේ ජීවත් වෙති.

මේ ජීවීන් ගෙන් ඇති විය හැකි විවිධ තර්ජනවලින් වැළකී සිටීමේ ක්‍රම අතීත සිංහල ජනතාව අතර ද ප්‍රචලිත ව පැවතිණි. නිවාස අතුගා පිරිසිදු කිරීමෙන් පසු බිමට කහ දියර ඉසීම දැනුදු ඇතැම් විට දක්‌නට ලැබෙන සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමයකි. කහ දියර විෂබීජ නාශක ගුණයෙන් යුක්‌ත බැවින් මින් යහපත් බලපෑමක්‌ ඇති වේ. මේ අතර නිවස පුරා විවිධ ඖෂධීය ද්‍රව්‍ය දැවීමෙන් පිට වන දුම් ඇල්ලීම ද සිදු කෙරිණ. ගිනි අඟුරු සහිත කබලකට පිරිසිදු දුම්මල දමා ඉන් පිට වන දුමාරය නිවස තුළ පතුරුවා ලීම මින් එක්‌ ක්‍රමයකි. මේ මගින් කාමරවල ගැවසුණු මැසි මදුරුවන් ආදී සතුන් පලවා හරින ලද අතර වාතයේ තිබූ විෂබීජ ද විනාශ විය. දුම්මල වෙනුවට කොහොඹ තෙල්, කොහොඹ කොළ, පැඟිරි කොළ, මදුරුතලා කොළ හා වෙනත් ඖෂධීය ද්‍රව්‍ය ද භාවිත කර මේ ආකාරයට දුම් ගැස්‌සීම මගින් ඔවුන් විසින් ගෘහස්‌ථ පරිසරය පිරිසිදු කර ගන්නා ලදි. විශේෂයෙන් ම මදුරුතලා කොළ පිළිස්‌සීම මගින් පිට වන දුම ඔවුන් විසින් භාවිත කරන ලද්දේ මදුරුවන් පලවා හැරීමට ය.

පරිසරයේ වැඩෙන විවිධ ශාකවල ඇති විෂබීජ නාශක ගුණ පිළිබඳව ඔවුහු අතීතයේ සිට ම දැනගෙන සිටිය හ. නිවසේ මකුළු දැල් කැඩීමට කැප්පිටියා කොළ මිටියක්‌ බැඳ සකස්‌ කළ ඉදලක්‌ බොහෝ විට භාවිත කරන ලදී. මේ මගින් මකුළු බිත්තර ද විනාශ වන බවට විශ්වාසයක්‌ ඔවුන් තුළ විය. මේ අතර ඇඳ මකුණන් විනාශ කිරීමට ඇඳෙහි පැදුරට යටින් කොහොඹ කොළ වැනි ඖෂධීය ශාක කොළ වර්ග ද අතුරන ලදී. විශේෂයෙන් ම බෝ වන රෝගයකින් පෙළෙන රෝගියකු ගේ ඇඳෙහි ද මේ ආකාරයට ම කොහොඹ කොළ අතුරන ලදී. කුඩා අත දරුවන් නැහැවීමෙන් පසු කොහොඹ තෙල් හෝ කොහොඹ කොළ දුම් ඇල්ලීම ද සිදු කරන ලද්දේ රෝග බීජවලට ලක්‌ වීමෙන් වළක්‌වා ලීම සඳහා ය. කෙනකුට බෝ වන රෝගයක්‌ වැළඳුණු විට අන් නිවැසියන්ට ද එය බෝ විය හැකි බව දැන සිටි එදා අප ගැමි ජනතාව ඒ බව සන්නිවේදනය කිරීම සඳහා නිවසේ ඉදිරිපිට කොහොඹ අතු කැබැල්ලක්‌ එල්ලා තැබූ හ. මේ නිසා රෝග පැතිරීම බොහෝ දුරට පාලනය විය.

ඔළුවේ වසන උකුණන් වඳ කිරීමට උලුහාල් හා ගොඩපර තම්බා ගත් වතුරෙන් හිසකෙස්‌ සෝදන ලද අතර ඒ මගින් උකුණන් මෙන්ම උන් ගේ බිත්තර ද විනාශ වන බව ඔවුහු දැන සිටිය හ. නිවසේ මුලුතැන් ගෙයි නිතර ගැවසෙන කැරපොත්තන් වඳ කිරීමට ග්ලිරීසිඩියා ශාකයේ මල් හා පැඟිරි ශාකවල කොළ ද භාවිත කරන ලදී. මේ අතර ඇඳුම් හා පොත්පත්වලට හානි පමුණුවන කාවන් ආදී සතුන් පලවා හැරීමට සැවැන්දරා මුල් වැනි ද්‍රව්‍ය ගබඩා කර ඇති අල්මාරි හා පෙට්‌ටි තුළ බහා තබන ලදී. සැවැන්දරා මුල් මගින් ඇඳුම්වලට නැවුම් සුවඳක්‌ ද එක්‌ විය.

ගම්බද නිවසක මුලුතැන්ගෙයි ඉදි කරන ලද අටුව ද විෂබීජ නාශක කුටියක්‌ විය. සෝදා ගත් වළං හා පිඟන් ආදිය යටි අතට හරවා අටුවෙහි තැබීම නිසා දර ලිපෙන් පිට වන දුම් වැදීම මගින් ඒවායේ දිලීරවල වර්ධනයක්‌ නො වී ය. බොහෝ ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීමට අටුවේ තබන ලද්දේ මේ නිසා ය. තට්‌ටු කීපයකින් යුක්‌තව අටුව සකස්‌ කළ අතර, හිඩැස්‌ ඇති වන ආකාරයට පුවක්‌ පටි හෝ කෝටු ඇතිරීමෙන් එම තට්‌ටු සකස්‌ කරන ලදී. මේ නිසා දර ලිපෙන් පිට වන දුම් අටුව පුරා ම හොඳින් පැතිරිණි.

එදා පැවැති ජෛව පාලන ක්‍රම මගින් ද අහිතකර සතුන් විනාශ වීමට ඉඩ සැලසිණ. නිවසක බළලකු ඇති කරන ලද්දේ මීයන් හා කැරපොත්තන් වඳ කරනු පිණිස ය. ඉඳහිට නිවසට පැමිණෙන ගැරඬියා මගින් ද මේ කාර්යය ඉටු විය. මේ අතර විසකුරු සර්පයන් ගේ පැමිණීම වළක්‌වා ගැනීමට ඇතැම් විට වත්තේ මායිම්වල ඖෂධීය වටිනාකමක්‌ ද ඇති සර්පයන් අප්‍රිය කරන පැළෑටි වර්ග ද වවන ලදී.

අතීත ජනතාව විසින් භාවිත කරන ලද මේ ගෘහස්‌ථ සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම කිසිවක්‌ මගින් පරිසරයට කිසි ම හානියක්‌ සිදු නො වීය. අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීම නිසා අතුරු ආබාධ හා අපහසුකම් ද ඇති නො වී ය. ඒ අතර බුදු දහමේ ආභාෂය ලබා සිටි ඔවුන් ගේ මේ පිළිවෙත් බොහෝ විට සත්ත්ව හිංසාවෙන් ද තොර ඉතා ම අහිංසක පිළිවෙත් ද විය. 


-------------------------


Thursday, November 17, 2011

ලොක්කයියා ගේ ළමා කාලය 2.....

එදා පෝස්ට් එක දිග වැඩිඋන හින්දා ලොක්කයියාගේ ළමා කාලයේ ඉතිරි කොටස මම මේ පෝස්ට් එකෙන් දානවා‍. මුල් පෝස්ට් එක බලන්න මෙතනින් පුළුවන්. 

මේ කතාව සිද්ධවෙන කාලෙ ලොක්කයියා පොඩියි. බයික් ගැන හිතලවත් නෑ. හරියටම කීවොත් "භූමිතෙල්" කියන ගෞරවනාමය ලැබෙන්න අවුරුදු 5-6කට කලින්.....

මේ කාලේ ලොක්කයියගේ ප්‍රියතම දේ තමයි වගාකිරීම. ඉස්කෝලෙත් කෘෂිකර්ම විෂයට වහවැටිලා හිටියේ. 

ඉතින් කවුරු කවුරුත් මේක දකින්නේ හොඳ දෙයක් විදියට උනත් "ලොක්කයියා අතගහපු ඕනෙම හොඳ වැඩක් උනත් නතරවෙන්නේ අන්තිම කුජීත විදියටය" කියන නියමය උඩ මේ වගාකිරිල්ලෙන් අන්තිමට කෙලවෙන්න ගියේ ලොක්කයියගේ තාත්තට

කෘෂිකර්මයට වහ වැටිලා හිටපු ලොක්කයියා තමන් සුළුවෙන් පවත්වාගෙන ගිය වගාව තවත් දියුණු කරන්න හිතුවා. එහෙම හිතලා තාත්තා ලඟට ගිහින් මෙහෙම කීවා.....

"තාත්තේ මට ලොකුවට වගාකරන්න ඕනේ..... ඒ නිසා තාත්තගේ ඉඩම් ටික ඔක්කොම මගේ නමට ලියලා දෙන්න..."

දැන් කාලේ තාත්තලාට එහෙම පොඩිඑකෙක් මේ වගේ කතාවක් කීවොත් ඌට කණ පැලෙන්න කන්න වෙනවා. ඒ උනත් අපේ ලොක්කයියගේ තාත්තා හෙවත් පොඩි මහත්තයා හොඳට ඉවසීම ප්‍රගුණ කරපු ඒ වගේම කිසි දේකින් නොසැලෙන පොරක් නිසා... ටිකක් කල්පනා කරලා මෙහෙම කීවා.

"උඹ ඉස්සල්ලාම මට රුපියල් ලක්‍ෂයක් එකතු කරලා පෙන්නපන්.... ඊට පස්සේ මම ඉඩම් ලියලා දෙන්නම්" 

කොහොමද පොරගේ ටිකිරි මොළේ..... හැබැයි ඉතින් එතනින් තමයි මේ හැමදේම පටන්ගත්තේ.....

අභියෝගය භාරගත්තු ලොක්කයියා මුලින්ම කල්පනා කරා ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්.... කොහොම හරි පොඩි මහත්තයාගේ කරුමෙට අපේ පොරගේ පොඩි මොලේට ආව අයිඩියා එක තමයි.....

"කුකුල් පාලනය"


ඒ කාලේ ඔය බ්‍රොයිලර් කුකුල්ලු හිටියේ නෑනේ... වැඩිපුරම විකිණුනේ බිත්තර තමයි.....

ඉතින් ලොක්කයියත් අතේ සල්ලි තිබුන විදියට කිකිලියෝ ටිකකුයි ලොකු කුකුලෙකුයි අරගෙන වැඩේ පටන් ගත්තා...  

මේ අතරතුරේ පොර පාඩි පොඩි සයිඩ් බිස්නස් එහෙමත් කරා.... ඒ අතරට තාත්තගේ රබර් ‍රොටී හොරකම් කර විකිණීම, අහල පහල කුකුල් කොටු වලින් කුකුල් පැටව් හොරකම් කිරීම වගේ දේවලුත් තිබ්බා. ‍මොනවා කරන්නද ඉතින් ඉක්මනට සල්ලි හොයන්න එපායැ.... 

මේ අතරේ පොඩි මහත්තයාට නමන්ගේ පළමුවන නම්බුනාමය ලැබුනා....... 

"කුකුල් ‍‍පොඩි මහත්තයා"

මොනවා කරන්නද ඉතින්... ඒකාලේ කීවේ දරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් දෙමව්පියන් වගකියන්න ඕනේ කියලනේ...... හැබැයි ගමේ කට්ටිය මේක වැඩිය ප්‍රසිද්ධ කරේ නැනි නිසා ලොකු අවුලක් උනේ නෑ.

ඒ එක්කම දවසක තමයි ලොක්කයියගේ තාත්තට ලෙඩෙක් බලන්න කොළඹ එන්න සිද්ධඋනේ......

තාත්තා : පොඩි එකෝ මට බිත්තර 10ක් විතර කවරෙක දාලා දියන්කෝ.... xxxxxx බලන්න යන්න
ලොක්කයියා : රුපියල් 10ක් දෙන්න තාත්තේ
තාත්තා : ඈ.... ‍යකෝ මම උඹගේ තාත්තා නේද? මගෙනුත් සල්ලි ගන්නවද????
ලොක්කයියා : මොනවා කරන්නද තාත්තේ... තාත්තමනේ කීවේ ලක්‍ෂයක් හොයලා පෙන්නන්න කියලා.... තාත්ත ඒ කොන්දේසිය අයින් කරනවනම් මම නිකන් බිත්තර දෙන්නම්.....

එතනින් එහාට මොකද උනේ කියලා ලොක්කයියා කවදාවත්ම අපිට කීවේ නෑ...... 

ලොක්කයියගේ පරණ යාළුවෙක් නම් දවසක් අපිට කීවේ පොඩි මහත්තයා උනත් ඉවසන එකේ සීමාවක් තියනවා කියලා එදා තේරුම් ගත්ත ලොක්කයියා දවස් කීපයක් පිටිපස්සේ තිබුන තුවාල වලට බෙහෙත් කරා කියලයි.......

Tuesday, November 15, 2011

ලොක්කයියා ගේ ළමා කාලය............

මීට කලින් දවසක් පොරොන්දු උනානේ ලොක්කයියාගේ ජීවිත කතා කියනවා කියලා.... මේ වැඩයි වෙන සිද්ධියි අස්සේ ඒක අමතකම වෙලා ගියා. අද උදේ හදිස්සියේම දුම දාගෙන යන මෝටර් සයිකලයක් දැකලා  මට ලොක්කයියව මතක් උනා....

මම මේක ලොක්කයියාගේ ළමා කාලය කියලා පටන් ගත්තට මොකද ඇත්තටම මේ සිද්ධිය වෙනකොට ලොක්කයියා ටිකක් ලොකුයි ඔය මෝටර් සයිකල් එහෙම පදින කාලේ.... අනික තමයි මීට අදාල කාලය විදියට මීට අවුරුදු 30 කට විතර ඉස්සර දවසක් හිතාගත්තට කමක් නෑ......

මේ කාලේ ලොක්කයියා ජීවත්උනේ කොළඹට නුදුරු පිටිසර ප්‍රදේශයකලු..... ඒ වගේම ලොක්කයියගේ තාත්තත් ගමේ හොඳට ඉඩකඩම් එහෙම තියන ඒ වගේම ගමේ ඉහල තත්වයක් තිබුන පුද්ගලයෙක්ලු.... ගමේ අය කතාකරේ "පොඩි මහත්තයා" කියලලු...

මෙහෙම දැහැමෙන් සෙමෙන් ජීවිතය ගෙවන අතරේ අපේ පොරට ආවලු තමන්ගේ විතරක් නෙමේ මුලු පවුලෙම නම්බුව නැති කරපු ඒ සුපිරි අයිඩියා එක.... මොකක්ද දන්නවද???? 

"ගමන් බිමන් වල පහසුවට මෝටර් සයිකලයක් ගන්න එක"

කොහොම හරි ඔන්න පොර දුක් විඳලා සල්ලි හොයාගෙන පරණ බයික් කටුවක් ගත්තා කියමුකෝ.... ඊට පස්සේ තමයි කතන්දරේ ‍හොඳම හරිය එන්නේ.....


දැන් මේ බයික් එක දුවන්නේ භූමිතෙල් වලින් (අර සිංහලෙන් Kerosene කියන්නේ... සමහර අය ලාම්පුතෙල් කියලත් කියනවා)

සමහර වෙලාවට භූමිතෙල් වලින් දුවන පරණ ජෙනරේටර් එහෙම දැකල තියන අය දන්නව ඇතිනේ ඒ ළගින් එන සුවඳ... ඒ වගේම සුදු පාටට එන ලස්සන දුම... කොහොමද කියලා. දැකල නැතිනම් මතක් කරගන්නකෝ අර නගර සභාවෙන් මදුරුවන්ට දුම් ගහන මැෂින් එක.......


අපේ පොරත් දැන් මේ බයික් එකේ නැගලා ගමවටේ ඇවිදිනවා...... හැබැයි මේ ගමන් වලදි ලොක්කයියට අදුරන අය එහෙම හමුවෙනවා අඩුයි. මොකද පොර එනවා දකින යාළුවෝ දුවල ගිහින් හැංගෙනවානේ... ඇයි අප්පා කාටද පුළුවන් අර දුමයි ගඳයි උහුලගෙන ඉන්න.... අපේ එකාට නම් මොකද ඌ දුමට කලින්නේ යන්නේ...

හැබැයි ලොක්කයියා එන දවසට එහෙම උනාට පොර දකින්න නැති වෙනකොටත් ගමේ මිනිස්සුන්ට සාංකාව වගේ..... වැරදිලාවත් පොර සතියකින් විතර ගමේදි දැක්කේ නැතිනම් මිනිස්සු ඒ ගැනත් හොයලා බලනවා.... හැබැයි අහන්නේ ලොක්කයියගේ තාත්තගෙන්....

"පොඩි මහත්තයා... මොකද පොඩි පුතා එහෙම පහුගිය ටිකේ මේ පැත්තේ පේන්න හිටියේ නැත්තේ..??? මිනිහ ඉන්නව නම් අපේ ගෙවල් පැත්තේ ටිකකට එන්න කියන්නකෝ.... ගෙදර වත්තේ මදුරුවෝ පිරිලා.... මිනිහ ලඟ තියනවනේ මදුරුවන්ට දුම් ගහන මැෂිමකුත් ......."

කොහොමින් කොහොමින් හරි අපේ ලොක්කයියව "පොඩි මහත්තය‍ගේ පොඩි පුතා" කියලා හඳුන්වපු ගමේ අය අළුත් විශේෂණ පදයකින් පොරව හඳුන්වන්න ගත්තා.... 

"පොඩි මහත්තය‍ගේ භූමිතෙල් පුතා"

ඔහොම ගිහින් පොඩි මහත්තයත් "භූමිතෙල් පොඩි මහත්තයා" වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි පොර පුතාට බකට් එක ඇද්දා..... "ආයෙ එහෙම ඔය බයික් එක පැදලා තිබුනොත් ඒකට ගිනි තියනවා...." කියලා

ඉතින් අන්තිමේ ලොක්කයියත් වෙන කරන්න දෙයක් නැතිකමට තමන්ගේ කුළුඳුල් බයික් එක විකුණලා දාලා ටිකක් හොඳ වෙන බයික් එකක් ගත්තලු... හැබැයි ඒක භූමිතෙල් වලින් දුවන්න බැරිලු.... 

කොහොම හරි ඊට පස්සේ ගෙදර ඇහෙන සංවාද මේ වගෙයි;

පුතා : තාත්තේ මට බයික් එකට පැට්‍රල් ගහන්න රුපියල් 10ක් දෙන්නකෝ
තාත්තා : ඇයි යකෝ මගෙන් සල්ලි ඉල්ලන්නේ.... උඹ මහලොකුවට බයික් ගත්තට නඩත්තු කරන්න බැරිද?
පුතා : ඉතින් තාත්තේ මට කරගන්න පුළුවන් විදියට ගැලපෙන්න තමයි කලින් බයික් එක ගත්තේ.... තාත්තගේ ඕනෙකමටනේ ඒක විකුණලා මේක ගත්තේ.... තාත්තට සල්ලි දෙන්න බැරිනම් කියන්න... මම ආයෙ ඒ ජාතියෙ බයික් එකක් ගන්නම්.
තාත්තා : එපා එපා.... එහෙනම් මේ සල්ලි තියාගනිංකෝ පෙට්‍රල් ගහන්න...

කොහොම හරි.... ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් උනාලු.


ප.ලි.

ලොක්කයියාගේ ජීවිත කතාවේ තවත් පොඩි වැදගත් කොටසක් තියනවා. ඒක දැම්මොත් මේ පෝස්ට් එක දිග වැඩිවෙන හින්දා ඒ කෑල්ල හෙට වෙනම පෝස්ට් එකකින් දාන්නම්.

Thursday, November 10, 2011

ගාථාව............


අද පෝය දවසෙවත් කට්ටියට බණක් දහමක් අහන්න සලස්සන්න කියලා මම හිතුවා අද ‍බණ කථාවක් කියන්න....................

මේ කතාව මට කීවේ අපේ රූපයා මීට ගොඩ කාලෙකට කලින්. ඒ දවස්වල මමයි රූපයයි දෙන්නා වල බැහීමේ අන්තයටම ගිය කාලේ.... කොටින්ම අපේ එවුන් කීවේ "මල් නම් අපි දෙන්නා අපි දෙන්න නම් මල්" කියනවා වගේ කථා....

වැදගත්ම දේ තමයි.... මම මේක දාන්නේ කිසිම ආගමකට අපහාසයක් විදියට නෙමේ, කස්ටියට පොඩි ආතල් එකක් ගන්න විතරයි හොඳේ..........

එහෙනම් සභාවෙන් අවසරයි..... මම හදන්නේ කතාවක් කියන්නයි.......

ඔන්න දවසක් එක පොරක් සුළු වරදකට උසාවියෙන් වැරදි කාරයෙන් උනා. දැන් ඔය මේ දවස්වල නඩු දාන්නේ ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීම කියලා, ඒ වගේ එකක් හිතමුකෝ....

මේ නඩුව අහපු නඩුකාරයත් ටිකක් අමුතු බුවෙක් නිසා අපේ පොරට දුන්න දඬුවම උනේ ‍
"ලඟම තිබෙන පන්සලට ගොස් ආගමික වතාවත් වල නිරත වීම හා ඒ පිළිබඳව පන්සලේ හාමුදුරුවන්ගෙන් සහතිකයක් ගෙන ඒම"

අපි වගේ ආගම දහමට ලැදි අයට මේක සුළු දෙයක් උනාට, අපේ පොරට මේක මාර ප්‍රශ්නයක්.....

කථාවේ ඉතුරු ටිකට අපේ පොර හඳුන්වන්න නමක් ඕනි වෙනවා අපි හිතමුකෝ "සිරිසේන" කියලා

දැන් ආපසු කථාවට......

අපේ සිරිසේන කාරයා වැස්සකටවත් පන්සලකට ගිහින් තියන එකෙක් ‍නෙමේ..... ඒකයි දැන් ප්‍රශ්නේ.

කොහොම හරි වැඩේ කෙරෙන්නත් ඕනි නිසා ෆුල් සෝබර මූඩ් එකක් හදාගෙන, වටේ පිටේ අයගේ උපදෙස් පරිදි මල් වට්ටියකුයි හඳුන්කූරු පැකට් එකකුයි අරගෙන, සිරිසේන යනවා පන්සලට.....

ගිහින් දන්න ශිල්ප ඔක්කොම දාලා තමන්ගේ දුක කියනකොට හාමුදුරුවන්ටත් දුක හිතුනා. ඒ හින්දා හාමුදුරුවොත් කීවා එහෙනම් උපාසක මහත්තයා ගිහින් මල් පූජා කරලා එන්නකෝ මම සහතිකය ලියලා දෙන්නම් කියලා...

දැන් සිරිසේනට තවත් ප්‍රශ්ණයක්.... බුදුන් වඳින ගාථා දන්නෑ......

මේක කීවහම හාමුදුරුවෝ කියනවා ආ... ඒක එච්චර ගනන් ගන්න එපා... ඉස්සල්ලා තමන් ගෙනාපු දේවල් ගැන කියලා ඒවා පූජා කරන්න, ඊට පස්සේ  බුදු හාමුදුරුවෝ ගැන කියලා වඳින්න, අන්තිමටම තමන් ගැනත් කියලා වැඳලා එන්න

අපේ බුවත් ඔහොම හිටියට හොඳ තර්කානුකූල ඩයල් එක, ඒක නිසා මිනිහ ගියා බුදුගෙට දීපු උපදෙස් හරියටම පිලිපදින්න හිතාගෙන..... 

දැන් බුදුගේ ඇතුලේ සීන් එක මෙහෙමයි;

සිරිසේන ඉස්සල්ලම මල්ටික පූජාකරා... දැන් ඒ ගැන කියන්නත් එපායැ..... ඒ හින්දා කල්පනා කරලා බුදු පිළිමෙන් මෙහෙම ඇහුවා.... 

"මල් සුවඳද ?....."

ඊට පස්සේ හඳුන් කූරු පත්තු කරා...... ඒ ගැන කියන්නත් අමතක කරේ නෑ....

"දුම සැරද ?......."

දැන් බුදු හාමුදුරුවෝ ගැනත් මොනවා හරි කියන්න ඕනි කියලා හිතන කොටම මෙන්න එතන තියනවා තව පොඩි බුදු පිළිමයක්.... පොර ඒක පෙන්නලා ලොකු පිළිමෙන් මෙහෙම ඇහුවා....

"මේ මල්ලිද ?......"

දැන් වැඩේ ගොඩ.... හැබැයි මිනිහා යන්න කලින් තමන් ගැන කියන්නත් අමතක කරේ නෑ.... 

"මම සිරිසේන......"

ඔන්න ඔහොමයි ලු බුදුන් වඳින අළුත්ම ගාථාව බිහිවුනේ...........

මල් සුවඳ ද
දුම සැර ද
මේ මල්ලි ද
මම සිරිසේන

මගේ කථාව මෙතනින් අවසානයි අසාසිටි ඔබ සැමට ස්තූතියි..........