Wednesday, June 13, 2012

Bon Appétit...!

අද මහින්දගේ ආගිය කතා ගැන දුමී මතක් කරලා තිබුනහම තමයි මටත් මේ කතාව මතක් උනේ...


උඩ තියන වචනේ ගැන කීවොත් ඒක French වචනයක්... අර අපි බොනකොට (නෙක්ටො හො‍ඳේ...) චියර්ස් කියනවා වගේ ප්‍රංශ කාරයෝ කෑම කන්න පටන් ගන්නකොට එකිනෙකාට විෂ් කරනවා Bon Appétit කියලා...


මේ වචනේ උච්චාරනය කරනකොට එන්නේ "බොන් ඇපටී" වගේ ශබ්දයක්. ඒකේ තේරුම ආහාරය හොඳින් රසවිඳින්න ලැබේවා වගේ දෙයක්. එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් ගත්තොත් "Have a Good Appetite" කියන එක තමයි.


මහින්දගේ ආගිය කතාවල මේ කතාවෙන් මඩ ගහලා තිබුනේ සංඛ අමරජිත් කියලා කෙනෙකුට... 


එහෙනම් මේකයි කතාව...


ටික කාලෙකට කලින් සංඛ ගියාලු ප්‍රංශෙ පැත්තේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට.... මේ මිනිහ ප්‍රංශෙට ගිය පළවෙනි වතාව නිසා එහේ භාෂාව, සිරිත්-විරිත් එහෙම වැඩිය දන්නේ නෑලු.... 


දවසත් අපේ මේ සංඛ තනියම ගියාලු එහේ රෙස්ටුරන්ට් එකක (රෙස්ටුරන්ට් කීවට අර අපේ KFC වගේ එකක්) කෑම කන්න.... දැන් මිනිහ දන්න වචන ඔක්කොම දාලා අමාරුවෙන් කෑම එකකුත් අරගෙන ආවලු. ඉඳගන්න ඉඩ තිබුනේ තවත් ප්‍රංශ කාරයෙක් (අපි භාවිත‍යේ පහසුවට 'සුද්දෙක්' කියලා කියමු) ඉන්න මේසෙකලු... ඉතින් පොරත් දන්න උපරිම විනීතකමෙන් ගිහින් එතන වාඩිඋනාලු.


සංඛ දැන් ඒ සුද්දටත් හිනාවක් එහෙම දාලා - මොකද කථා කරන්න තරම් පොර ප්‍රංශ දන්න එකක්යැ - කන්න පටන් ගත්තලු... එතකොටම සුද්දත් එහේ සිරිත විදියට "Bon Appétit...!" කියලා සුබ පැතුවලු... ජීවිතේට මෙහෙම එකක් වෙලා නැති සංඛ බයඋන පාර හිතුවේ සුද්දා තමන්ගේ නම තමයි කිව්වේ කියලාලු... එහෙම හිතලා පොරත් උත්තර දුන්නලු මෙහෙම "සංඛ අමරජිත්..."


සුද්දත් ටිකක් අමුතු විදියට සංඛ දිහා බලලා හිනාවෙලා උගේ පාඩුවේ කෑම කන්න ගත්තලු. ඒනිසා සංඛත් පාඩුවේ කෑම කාලා ආයේ සුද්දටත් පොඩි හිනාවක් දාලා එහෙම එතනින් ආවලු.


ටික දවසක් මෙහෙම ඉන්නකොටලු සංඛ දැනගත්තේ අර "Bon Appétit...!" කියපු එකේ තේරුම. දැන් පොරට හෙන ලැජ්ජයිලු එදා වෙච්ච වැඩේට... 


කොහොම හරි ඔන්න ඊටත් ටික දවසකට පස්සේ සංඛ ආයෙන් අර රෙස්ටුරන්ට් එකෙන් කන්න ගියාලු. ගිහින් කෑම අරන් එනකොට දැක්කලු සිත ප්‍රීතියෙන් පිනායන දර්ශනයක්....


එදා හිටපු සුද්ද අදත් ඉඳගෙන කෑම කනවා... 
අදනම් ශිල්ප දක්වන්න හොඳම දවස කියල හිතපු සංඛ යකා වගේ ගියාලු සුද්ද ලඟට... ගිහින් හයියෙන්ම කීවලු "Bon Appétit...!" කියලා. 


එතකොටම මූව අදුනගත්තු සුද්දත් හොඳට හිනාවලා එහෙම මූටත් වඩා හයියෙන් කෑගහල මෙහෙම කීවලු...  "සංඛ අමරජිත්...!"

Thursday, June 7, 2012

ඇත්තටම බුදුන් උපන්නේ කොහේද?

මේ දවස්වල අපේ Officeඑකේ ජනප්‍රියම මාතෘකාව තමයි මේ..... කලින් ඉදන්ම බුදුහාමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද ඉපදුනේ කියන එක ගැන වාද විවාද තිබුනා උනත් ඒක ඇවිස්සිලා ආවේ අර පහුගිය දවස්වල රේඩියෝ චැනල් එකක මේ ගැන ගිය වැඩසටහනකින් පස්සේ


මම මුලින් මේ බ්ලොග්එක පටන්ගන්නකොට ආගම හා දේශපාලනය සම්බන්ධව කිසිදෙයක් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියා උනත් අපේ අයගේ කතා සහ තර්ක අහගෙන ඉඳලම මට ඒ ගැන මගේ අදහසත් නොලියා ඉන්න බැරි තත්වයක් ආවා. ඒ නිසයි වැඩ අස්සෙ උනත් කෙටියෙන් හරි මේ ගැන මම ලියන්නේ... හැබැයි මම මළත් දේශපාලනේ ගැනනම් ලියන්නෑ හො‍ඳේ.


ඇත්තටම මේ තර්ක කරන අයගෙන් මට අහන්න තියෙන්නේ එක දෙයයි .... 


බෞද්ධ අපිට වැඩිපුරම වටින්නේ 
බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොතනද කියන එකද? 
නැතිනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයද?


අපේ ලොකු අක්කා නම් මේකට දුන්න උත්තරේ තමයි... ධර්මය වැදගත් උනත් බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියලා "බුදු වරයෙක් උපන් තැන, බුදුවූ තැන හා පිරිණිවන් පෑ තැන දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගතයුතු බව"


මට තියන ප්‍රශ්නය තමයි... හැමවිටම ධර්මය මුල් තැන තියලා සලකපු බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් ඇත්තටම කීවද? කියනඑක...


අවුරුදු 2500 ක් ඇතුලත අපේ සංස්කෘතිය, භාෂාව, අක්‍ෂර වගේ දේවල් වෙනස් උනා නම්.... බුද්ධාගමේ සමහර සුළු දේවලුත් වෙනස් වෙලා තියෙන්න බැරිද?


දැන් මම මේක කිව්වා කියලා මට බනින්න එපා මම ධර්මය විකෘති කරනවා කියලා.....


නිකන් හොයලා බලන්න ලංකාවේ හාමුදුරුවරුන්ගේ නිකායවල්ම කීයක් තියනවද කියලා... අවුරුදු 2500කට කලින් ඒවා තිබුනද?? ‍


හැබැයි අපේ බෞද්ධයන් ගැන නම් මට සංතෝස වෙන්න පුළුවන්. මොකද කවුරුත් නිකායවල් ගැන ඒතරම් තැකීමක් කරන්නේ නෑ... පොදුවේ හැම ස්වාමින් වහන්සේ කෙනෙකුටම එකවගේ ගෞරවයෙන් සලකනවා.


ඒත් ඇත්තටම අපි  බුදුබණ පිළිපදිනවද????


අපේ අය තර්ක කරනකොට නම් මට හිතෙන දෙයක් තමයි මේ අය කිසිකෙනෙක් බුදුබණ තියා අඩුමගා‍නේ පන්සිල්වත් පිළිපදිනවද කියන එක .......


මම ගැන නම් කීවොත් මගේ අතින් ඕනෙ තරම් පන්සිල් කැඩෙනවා... ඒ නිසා අනිත් අයත් එච්චරම තමයි.


මට හිතෙන්නේ අපි අවශේෂ දේවල් වලට ප්‍රමුඛත්වය දීම නිසා ඇත්තටම අපි යන්න ඕනෙ කරන මාර්ගය නොපෙනී ගිහින්... එහෙමත් නැතිනම් අපි ප්‍රමුඛත්වය දිය යුතු දේවල් අතහැරිලා.... 


අවංකව හිතලා බැලුවොත් මේදේ අපි හැම කෙනෙකුගේම සාමාන්‍ය ජීවිතයටත් අදාලයි කියලා තේරෙයි....


අන්තිමටම මීට ගොඩ කාලෙකට කලින් මගේ හිතට වැදිච්ච කතාවක් කියන්නම්... හැබැයි මේක කීවේ කවුද කියලා මම දන්නේ නෑ


මිනිසුන් 
තම ආගම වෙනුවෙන් 
බොහෝ දේ කරයි
ඔවුන් ඒ ගැන 
කාව්‍ය රචනා කරයි
පොත් ලියයි
ප්‍රතිමා සාදයි
යුද්ධ ද කරයි
එහෙත් ඔවුන් 
නොකරන එකම දේ 
තම ආගම අනුව ජීවත් වීමයි




මේ හැමදේම සංවාදයට විවෘතයි........



ප.ලි.


අර රේඩියෝ සංවාදය අහන්න ඕනෙනම් පහලින් අහන්න