Monday, November 17, 2014

පුහුල් හොරා ඇප ගනී...

එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල් වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්‍රධානියෙකුගෙ උපදෙස් පිට අර ගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේම ගියා. මේ ප්‍රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තම ගෙයින් එළියට ආ එක මිනිහෙක් ගොවිරාල "පුහුල් හොරා කරෙන් දැනේ" කියනකොටම තමන්ගේ කර පිසදැමුවා. එවිට මෙයා තමයි පුහුල් හොරා කියලා ගමරාලයි ගම් ප්‍රධානියයි මිනිහව අල්ලගත්තා.



ඔය අපි පොඩිකාලේ ඉඳන් දන්න කතාවනේ..... ඊට පස්සේ මොකද උනේ????? 

අද එතැන් සිට...

අල්ලා ගත්තු මිනිහ එදා හවසම රක්‍ෂිත බන්ධනාගා‍ර ගත කළා. අනුන්ගේ දේපලක් සොරා ගැනීමේ වැරැද්දට සැක කරල. දින දාහතරකට පස්සේ නීතීඥ පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් සැකකරුට ඇප ඉල්ලුවා‍.

පුහුල් හොරකමට අදාල පරීක්‍ෂණ තවම අවසන් වී නොමැති නිසාත්, තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසාත්, සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතීඥවරු සිය විරුද්ධත්වය ප්‍රකාශ කළා. මෙම සැකකරු ඇප මත නිදහස් වුවහොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අයුතු බලපෑම් සිදුකළ හැති බවත් නීතීඥවරු ප්‍රකාශ කළා.

විත්තියේ නීතිඥවරු කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ සිදුකරන ආකාරය ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි. තවමත් සිද්ධියට අදාළ පුහුල් ගෙඩියවත් අත්අඩංගුවට ගෙන නැතැයි ඔවුන් දන්වා සිටියා.

පුහුල් ගෙඩියේ නැට්ට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර 'ගෙඩිය' ඉදිරි දින කිහිපය තුල අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා.

තම සේවාදායකයා හතරපෝයට අටසිල් සමාදන් වන වාර්ෂිකව වට වන්දනාවේ යෙදෙන උපාසක කෙනෙකු බවත්, ඔහු බන්ධනාගාර ගත කළහොත් ඔහුට ඉන් අගතියක් සිදුවිය හැකි බවත් විත්තියෙන් පැවසුනා. සැකකරු සැඟවීමට උත්සාහ නොකොට සීනු හඬට ඉදිරියට පැමිණීමෙන් ඔහුගේ අවංකභාවය පෙන්වා ඇති බැව්ද විත්තියෙන් පුකාශ කළා. 

සැකකරුගේ අවංකභාවය සැකයට තුඩුදෙන කරුණක් බවත්, ගොවිරාල ඉදිරිපිටදීම කර පිස දැමීමෙන් එය පැහැදිලි බවත් පැමිණිල්ල දක්වා සිටියා. පුහුල කර නොගැසුවා නම් කර පිසදැමීමේ අවශ්‍යතාවය කුමක්දැයි නීතිඥතැන විමසා සිටියා.

තම සේවාදායකයා එදා කර පිසදමා ඇත්තේ ඩෙංගු මදුරුවන් වසා ඇතැයි වූ බිය නිසා විනා අළු පිසදැමීමට නොවන බවත්, අවශ්‍ය නම් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට වුව යොමු කළ හැකි බවත් විත්තිය පුකාශ කළා. හොරකම සිදුවීමෙන් පසු ගමරාල හැසිරී ඇති ආකාරය නීත්‍යානුකූල නොවන බවත්, බැරිවීමකින්වත් සීනු නාදයට විශාල පිරිසක් එක් රැස් වූයේ නම් හදිසි නීති රෙගුලාසි පවා උල්ලංඝනය වීමට ඉඩ තිබූ බවත් විත්තිය දන්වා සිටියා. එබැවින් ගමරාලවත් අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත් පැවසුවා.

දීර්ඝ විභාගයකින් අනතුරුව සැකකරු ඇප මත නිදහස් වූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමටත්, සෑම ඉරු දිනකම පෙරවරුවේ ළඟම ඇති පොලීසියේ පෙනී සිටීමටත් නියෝග කෙරුනා.

“දැන් තමන්ට ගෙදර යන්න පුළුවනි ඊලඟ දිනේට නොවරදවා උසාවි එන්න” විත්තියේ නීතිඥ සැකකරුට කිව්ව.

“අපොයි! සර් එහෙම කොහොමද පහුගිය සුමාන දෙකේ පාවිච්චි කරපු හෑන්ඩ් ෆෝන් එකයි, කලර් ටීවී එකයි, ඇඳ ඇතිරිලි ටිකයි භාර දීල ඒ මහත්තුරුන්ට පින් දෙන්න එපැයි” කියූ පුහුල් හොරකමේ ප්‍රධාන සැකකරු බන්ධනාගාර බස් නැවතුම්පොළ දෙසට දිවිවා.


ප.ලි

මේක දැක්කේ පරණ පත්තර කෑල්ලක. මොන පත්තරේද, දිනේ කවදද කියලා හොයාගන්න බෑ. තිබුනේ "අතුල ජයසිංහ" කියන නම විතරයි. ස්තුතිය ඔහුට.....

Monday, November 10, 2014

අලියා සහ චිකන්........

අලියගෙයි චිකන් වලයි අතර තියන සම්බන්දෙ මොකක් කියලද හිතන්නෙ???



මේ ‍ෆොටෝ එකේ වගේ සම්බන්ධයක් ගැන ‍එහෙම වරදවා වටහාගන්න එපා ඕං.... මම මේ කියන කතන්දර දෙකේම කතානායකය අපේ රංග මල්ලිගෙ ලොකු අම්මගෙ පුතා වීම හැරුනහම වෙන කිසිම සම්බන්ධයක් ඒ අත‍රෙ නෑ හො‍ඳේ....

අපේ රංග මල්ලියි පොරගේ ලොකු අම්මගේ පුතයි දෙන්නම එක ලඟ වයස්වල. ඒ නිසා ඥාතිකමට මල්ලි උනත් ඩබල හිටියේ යාලුවෝ වගේ. පොරගේ නම අපි කියමුකො එරංග කියලා. හැබැයි එරංගගේ මොළේ පොඩි අවුට් ගතියක් තිබ්බා. රංගයා ඌව පොඩි කාලේ ඉදන් ආශ්‍රය කරන නිසා එච්චර වෙනසක් දැනිලා නෑ.... හැබැයි මේ කේස් දෙකෙන් පස්සේ ඌට විතරක් නෙමේ උගේ අම්මටත් (ලොකු අම්මා) ඒ අවුට් ගතිය තියනවා කියලා රංගයා දැනගත්තා.

මුලින්ම චිකන් වුන අවාසනාවන්ත කුකුලගේ කතාව කියන්නම්...

‍ලොකු අම්මලා කට්ටිය ගමේ අයත් එක්ක වන්දනාවේ ගිය දවසක රෑ කොල්ලොටික ඒ ගෙදර බොන්න ‍සෙට්වෙලා තියනවා හැබැයි රංගයට එදා යන්න බැරිවෙලා. මේ තියෙන්නේ පහුවදා ඒ ගැන ඇතිවෙච්ච කතාබහ

රංග      : ඊයෙ රෑ මොකද කරේ ?
එරංග    : මාර වැඩේනේ බං උනේ, අපේ එවුන් ටික කුණුවෙන්න බීලා කන්න ගියහම මස් නැතිව කන්න බෑ කීවනේ.
රංග      : ඉතින්?
එරංග    : ගෙදර මස් තිබ්බේ නෑ... ඒ හින්දා මුං එකතු වෙලා ගෙදර හිටපු කුකුළව මරලා ඉව්වනේ. මටත් ‍මොනවත් කියන්න විදියක් තිබ්බේ නෑ.
රංග      : උඹලා මාර යක්කුනේ. එහෙම ගෙදර ඉන්න සත්තු මරාගෙන කන සිරිතක් තියනවයෑ. අනික් උන් කොහාම වෙතත් උඹ කොහොමද බං අර සතාගේ මස් කෑවේ?
මල්ලි    : අනේ මම උගේ මස් කෑවෙ නෑ බං...  ‍බීල හිටිය උනත්, මම කොහොමද අර ගෙදර හුරතලේට වගේ හිටපු සතාගේ මස් කන්නේ... ඒ හින්දා මං චිකන් හොදිත් එක්ක පාං කෑල්ලක් කෑව.

දැන් අලියගේ කතාව.....

දැනට අවුරුද්දකට විතර කලින් රංගලාගේ පවුල්වල කට්ටිය දකුණු පළාත පැත්තේ ට්‍රිප් එකක් ගියා. ගියේ ලොකු අම්මලාගේ වෑන් එකේ. රියදුරු තමයි අපේ එරංගයා.

මෙහෙම දැන් කට්ටිය දැහැමෙන් සෙමෙන් (එහෙම කීවට හෙමින්මත් නෙවේ ගිහින් තියෙන්නේ 100ට විතර...) යන අතරේ, මේ යකා වෑන් එක ගිහින් හප්පලා‍නෙ පාර මාරුවුන වල් වන අලියෙකුගෙ ඇ‍‍ඟේ. තුවාල වුන අලියා කෑගහගෙන කැලේට දුවලා. වෑන් එකට සෑහෙන ඩැමේජ්ලු.

කොහොම හරි පොලීසියට ගිහින් කටඋත්තරයක් දෙනකොට මූ කියනවලු පාරේ අලියා ඉන්නවා දැක්කෙ නෑ කියලා. හොහොම හරි රංග මල්ලි කීවේ වැඩේට ලක්‍ෂ 2-3ක දඩයක් වැදුනා කියලා (තුවාල වුන අලියාගේ ප්‍රතිකාර වෙනුවෙන් වන ජීවී දෙපාරේතමේන්තුවට ගෙවන්න ඔනේ)

හොඳම සීන් එක තමයි, කේස් එක වෙලා වාහනේ අරන් පොලිසියටත් යන අතරේ රංගගේ ලොකු අම්මා අහනවලු පුතාගෙන් වාහනේ වැදුනේ මොකේද පුතේ?” කියලා. අලියෙක්ගේ ඇ‍ඟේ වැදුනේ අම්මේ කියලා පොර උත්තර දුන්නහම බයවුන ලොකු අම්මා කලන්තේ දාලා වැටිලා. සිහිය ආවේ පහුවදාලු.