Wednesday, October 29, 2014

දුම්රියේ ඛේදවාචකය (සිතන්න යමක්)...........

ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම් කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙක භාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණි මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවන මාර්ගයේ.

හදිසියේම දුම්රියක් එනවා..... මේ අවස්ථාවේ එම දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන  ළමයින් ‍බේරාගැනීමට ඔබට කරන්න පුළුවන් එකම එක තෝරාගැනීමක් පමණයි. එනම්, එම දුම්රිය පැරණි මාර්ගයට යොමු කිරීම විතරයි. නමුත් එයින් ඒ මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින ළමයා දුම්රියට බිලිවෙනවා.

ඔබ ගන්නා තීරණය කුමක්ද? ළමයින් බහුතරයකගේ ජීවිතය වෙනුවෙන් එක් ළමයෙකුගේ ජීවිතය කැප කරනවාද? නැතිනම් දුම්රිය යායුතු මාර්ගයේම යන්නට ඉඩහරිනවාද?

මොහොතක් කල්පනා කරන්න....................

?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?

මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙන බොහෝ දෙනෙක් කියන්නේ කීපදෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් එක් අයෙකුගේ ජීවිතය කැපකිරීම සාධාරණ බවයි. ඔබගේත් තීරණය එය නම්, මදක් පහත කරුණු සලකා බලන්න....

පැරණි දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයා ආරක්‍ෂාකාරී ස්ථානයක සෙල්ලම් කිරීම යන නිවැරදි තීරණය ගෙන ඇති බව ඔබ පිළිගන්නවාද? එසේනම් ඔහුගේ මිතුරන්ගේ වැරදි (මම නම් මෙයට කියන වචනය “මෝඩ”) තීරණය නිසා ඔහුට දුම්රියට බිලිවන්නට සිදුවීම කොතරම් සාධාරණද? එසේනම් බුද්ධිමත් තීරණ ගැනීම යනු වැරැද්දක්ද?

මෙවැනි ඛේදවාචක ඕනෑතරම් අද අපේ සමාජයේ (විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක) දක්නට ලැබෙනවා. බහුතරයකගේ තීරණය කොතරම් අදූරදර්ශී / අනුවණ වුවත් ඒ සඳහා පිළිගැනීම ලැබෙනවා, එම තීරණ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වන්නේ බුද්ධිමත් තීරණ ගන්නා සුළුතරයයි.

(මේ සඳහා හොඳම උදාහරණය “මැතිවරණය” යන වචනය තුල අන්තර්ගත වේදැයි මම නොදනිමි)


දැන් අපි අපේ ගැටළුවට නැවත යොමුවෙමු... ඔබ දුම්රිය යායුතු මාර්ගයේම යන්නට හැරියොත් කුමක් සිදුවෙයිද?

බොහෝවිට එම මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් එහි දුම්රිය ගමන් කරන බව දන්නා නිසා අවධානයෙන් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් දුම්රියක හඬ ඇසුනු විගසින් ආරක්‍ෂාකාරීව දුම්රිය මගෙන් ඉවත් වීමට ඉඩ තියනවා.

එමෙන්ම, ඔබ දුම්රිය පැරණි මාර්ගයට යොමු කළහොත් එහි සිටිනා ළමයා කිසිසේත්ම එම මාර්ගයේ දුම්රියක් පැමිණේයයි නොසිතන නිසා එයට බිලිවීමට වැඩි ඉඩක් තියනවා.

ඒ වගේම, පැරණි දුම්රිය මාර්ගය භාවිතා නොකරන නිසාවෙන් එහි දුම්රියක් ගමන් කිරීම සඳහා සුදුසු තත්වයක් පවතිනවාදැයි කිසිම සහතිකයක් නැති අතර දුම්රිය අනතුරකටද ලක්විය හැකියි. වෙනත් අයුරකින් කියනවා නම්, ඔබ එම දුම්රියේ ගමන් කරන සිය ගණනකගේ ජීවිත ළමයින් කිහිප දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් කැප කරනවා වෙන්න පුළුවන්. 


අපගේ ජීවිතය යනු අප විසින් ගන්නා විවිධ තීරණයන්හි එකතුවකි


එසේ නම් මතක තබාගන්න.....


  • හැඟීම් මත පදනම්ව ගන්නා ඉක්මන් තීරණ සැමවිටම නිවැරදි තීරණ නොවේ.

  • ජනප්‍රිය තීරණය සැමවිටම නිවැරදි නොවිය හැකි අතර, නිවැරදි තීරණය සැමවිටම ජනප්‍රිය නොවිය හැක.


ප. ලි.

මම මේ කතාව ලියුවේ කාලෙකට ඉහත ඊමේල් හරහා Train Track & Children / Train Tracks Dilemma වගේ නම්වලින් පැතිරුන කතාවක් ආශ්‍රයෙන්. එහි කතෘ ගැන සඳහනක් නොවුනත්, එයට පාදක කරගෙන තියෙන්නේ Philippa Foot විසින් මුලින්ම හඳුන්වාදෙනු ලැබූ The Trolley Problem නම් සිද්ධාන්තයයි.
 

Friday, October 24, 2014

කාලෙකට පස්සේ.....

ගොඩ කාලයක් තිස්සේ බ්ලොග් එක පැත්ත බලන්න බැරිවෙලා තිබුනේ වැඩ වැඩි හින්දා. ඒත් දැන් ආයෙ ටිකක් විතර නිදහසක් ලැබිලා තියෙන නිසා ආයෙමත් කතන්දරයක් දෙකක් පුළුවන් විදියට ලියලා දාන්න හිතුවා. 

දැනට මාස කීපෙකට උඩදි මම අපේ ලොක්කයියාටත් බ්ලොග් එක කියවන්න දුන්නා, අපි කට්ටිය ට්‍රිප් එකක් ගිහින් මහ කැලයක් මැද චාටර් වෙවී හිටපු වෙලාවක. ඌ ඒක ටිකක් කියවන අතරේ කියනවා "යකෝ මමත් මෙහෙම සීන් එකක් උනා කියලා අමතක කරලා තිබුනේ. ඒත් මගේ කරුමෙට බොට මතක තිබුනනේ" කියලා. ආයෙ ඌ මට ‍උගේ පොඩිකාලේ කතා කියන එකක් නැද්ද දන්නේ නෑ.

කොහොම උනත් කියන්න පරණ කතන්දර නම් ගොඩක් තියනවා. මතක් කරගෙන ලියන්නම්. එතකන් අපේ මංගි නැන්දා එවලා තියන ත්‍රී වීල් වැකි ටිකක් දාන්නම්.


Tuesday, June 4, 2013

හෙළබස (18+)......

අහලා තියනවද හෙලබසින් කතාකරන එක ගැන... නැතිනම් අර අමු සිංහලෙන් කතාකරන එක ගැන...

ඔය කතන්දරකාරයා එහෙම දන්නවා මේ ගැන. භාෂා විශාරදයෝ විතරයි එහෙම කතා කරන්නේ. අමුතු වචන සෙට් තියෙන්නේ... "තෙළ බනුව = දුරකථනය" වගේ ඒවා.

ටික දවසකට කලින් අපේ අය මේ ගැන බුද්ධිමය සංවාදයකුත් පැවැත්වුවා. ඒ අස්සේ ඇදිච්ච මේ කතා දෙක කියනවද නොකියනවද කියලා සති දෙකක් විතර හිත හිතා ඉඳලා අන්තිමේ 18+ කියලා ඉවරයක් කරලාම දාන්න හිතුවා..... 

(පොඩි එවුන් ඉන්නවනම් මෙතනින් එහාට බලන්න එපා......)

හැබැයි මේවා විහිලු කතා විතරයි... හෙලබසින් කතාකරන අයට අපහාස නෙමේ....


කතා අංක 01

ඔන්න හළබසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු (යාලුවත් කතා කරන්නේ හෙලබසින්). අපි මේ ‍ගෘහමූලිකයට කියමු "චිලී" කියලා... 

විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම කනවලු. ඒ නිසා හදිස්සියේම ආපු යාලුවට ගේ දොරකඩදීම මුණගැහෙන්නේ විලීගේ නෝනව. 

යාලුවා : විලී හු සිටිත් ද?

නෝනත් කල්පනා කරාලු මම මෙයත් එක්ක හෙලබසින් කතා නොකරොත් මහත්තයාගේ නම්බුවට හොඳනෑ කියලා, දන්න හෙලබසින් ගැටගහලා උත්තර දෙවලු...

නෝනා : විලී හු කති...

එක ප්‍රශ්ණෙන් කතාව නවත්තන එක හොඳනැති නිසා යාලුවා ආයෙ ඇහුවලු මෙහෙම..

යාලුවා : බිරින්දෑ මෙහි සිටියදී විලී හු කන්නේ කා සමගද?

නෝනා : අද උදෑසන අප නිවසට පැමිණි යහලුවන් පිරිසක් සමග විලී හු කති...

ඔන්න එතනින් එහාට මොනවා උනාද කියලනම් මම දන්නේ නෑ...


කතා අංක 02

දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්‍රී වීලර් එකක. දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු...

වියතා : රථ පළුව මාගේ බරපැන කෙතෙක් ද?

3W මල්ලි : මහත්තයා මේ... නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා... මගේ ගාන දෙන්න.

වියතා : නැත දරුව, මා ඒ වැනුයේ හෙළුවෙනි...

3W මල්ලි : මහත්තයා... හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගාන දීලා... 

වියතා : නැත නැත.. ඔබට නොතේරේ, දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය (= ප්‍රකට ප්‍රබුද්ධයෝය)

3W මල්ලි : (මළපැන) අඩෝ මේ.... උඹ ප*$*$ බැරිනම් හු*$*$*$ හරි පුබුද්ද ගනිං... මගේ හයර් එකට රු. 100ක් දිලා...

කතාව ඉවරයි....  හයර් එක රු 100යි.... 

Friday, May 3, 2013

ත්‍රස්තවාදී ප්‍රහාරයක්.....

මෙහි පහත සඳහන් සිද්ධිය සිදුවන්නේ වෙනත් සමාන්තර විශ්වයක් තුල බව කරුණාවෙන් සලකන්න. 

Meanwhile in a parallel universe............


ස්ථානය : පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති මාර්ගයක්

පරිසර ස්වභාවය : 
                          මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.... එම වාහන තදබදය අතරේ ආධාර එකතු කරමින් ගමන්කරන කණ්ඩායමකි..... මේ අතර, වාහනයක රියදුරෙක් එම කණ්ඩායමේ තරුණයෙකු සමග සංවාදයක යෙදෙයි....

රියදුරා : මල්ලි... මොකද මේ වෙන්නේ...?

තරුණයා : පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී කණ්ඩායමක් ඇතුල්වෙලා.... එයාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු හැ‍ම කෙනෙක්ම ප්‍රාණඇපයට අරගෙන


රියදුරා : අයියෝ... ඉතින්...?

තරුණයා : එයාලා ඩොලර් මිලියන 100ක වන්දියක් ඉල්ලනවා... දුන්නේ නැතිනම් ප්‍රාණඇපකරුවන්ට පෙට්‍රල් දාලා ගිනි තියනවලු...


රියදුරා : ඉතින්... දැන් ඔයාලා මොකද මේ කරන්නේ?

තරුණයා : අපි ආධාර එකතු කරනවා....


රියදුරා : එක්කෙනෙක්ගෙන් කොච්චර විතර ගන්නවද?

තරුණයා : එහෙම විශේෂත්වයක් නෑ... තමන්ට පුළුවන් විදියට කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න පුළුවන්.....




රියදුරා : එහෙම නෙමේ මල්ලි... දැන් එකතුවෙලා තියන ප්‍රමාණය අනුව එක්කෙනෙක් කොච්චර විතර දීලා තියනවද?

තරුණයා : දැන් එකතුවෙලා තියන ප්‍රමාණය අනුව නම්...... එක්කෙනෙක් පෙට්‍රල් ගැලුමක් විතර වෙන්න දීලා තියනවා...


ප.ලි.
       අද උදේ ඉඳන් නැතිවෙන්න වහිනවා.... අපේ එවුන්ටත් මේ වගේ කතා මතක් වෙන්නේ වැස්සට මොළේ තෙමුනහම වෙන්න ඇති.... 

කොහොම හරි චන්දරේ අයියාගේ මේ කතාව අහලා කට්ටිය තවම හිනා වෙනවා..... මටත් මේ කතාව මීට කලින් කොහේදි හරි ඇහුවා වගේ මතක තිබුනට කොහේදිද කියලා හරියටම මතක නෑ....

කොහොම වුනත් මේ කතාවේ ඔරිජිනල් අයිතිකාරයෙන් ඉන්නවනම් සමාවෙන්න හො‍ඳේ.......!