Thursday, November 1, 2012

අළුත්ම මාර්ග නීති අත්පොත...

මම අන්තිමටම මේ පැත්තට ඇවිල්ලා මාසෙකටත් වැඩියි මගෙහිතේ... කොහෙද මේ වැඩ හින්දා ඇහෙන/දකින දෙයක්වත් කොටාගන්න වෙලාවක් නැති උනානේ. Blogger වල මකුලුවෝ, කැරපොත්තෝ, හූනෝ, ඩෙංගු මදුරුවෝ, නයි, මුගටි, ‍පොළොංගු, පිඹුරෝ, හාවෝ, මුවෝ. ගෝන්නු, අලි, කොටි, වලස්සු, Etc.... නැති හින්දා හොදයි... නැත්තං මට මෙතන ඉන්න ඉඩක් නැතිවෙනවා...

කොහොම හරි මෙන්න කතාව..... මේ අළුත්ම මාර්ග නීති සංග්‍රහය මට එව්වේ අපේ දිලා. "දිලා" කියන්නේ මාත් එක්ක පොඩිකාලෙ ඉඳන්ම එකට පන්තියේ හිටපු එකා... සිංහලෙන්ම කියනවනම් "කලාස් මේට්". උගෙයි මගෙයිත් හොඳ කතන්දර වගයක් තියනවා... ඒවා පස්සෙ දවසක කියන්නම්. දැන් මාර්ග නීති සංග්‍රහය....


.....ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත.....
(මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න)

මතක තබාගන්න...

මේ පාර ඔබේය... එය ඔබේමය... ඔබේ විතරමය...

  1. ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
  2. පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත.
  3. අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
  4. මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
  5. මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් (මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස) ගමන් කරන්න.
  6. විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
  7. රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත. එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ද ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
  8. කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි. නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ.
  9. ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය.
  10. රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී, මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න
  11. දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත.
  12. මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මංතීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි.
  13. එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මංතීරුවෙන් පැමිණ හැරවිය යුතුයි.
  14. හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන යාහැක.
  15. ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කිරීම පාර මැදදීම කරගෙන යා හැක. එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි.
  16. පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක.
  17. ලතින් භාෂාවෙන් වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නයි. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
  18. ඔබගේ ත්‍රීවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙන් මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න.

  • නැවතත් හොදින් මතක තබාගන්න... මේ පාර ඔබේය... ඔබේම නිවස වැනිය... එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක...


ප.ලි.

මේ අත්පොත ලියපු කෙනා කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා. ඒත් මේකේ අයිතිකාරයා කවුරු උනත් හොඳ වැඩකාරයෙක් කියලනම් හිතාගන්න පුළුවන්.... කොහොම හරි මේකේ ඇත්තම අයිතිකරුට මගේ ප්‍රණාමය...