Monday, December 29, 2014

හොල්මන් කතාවක්.......

අද අපි පරණ හොල්මන් කථාවක් ටිකක් මොඩිෆයි කරලා අරුන් මල්ලිට මඩක් ගැහුව නිසා මෙතනත් ඒක කියලා දාන්න කියල හිතුවා.

හැබැයි මේව කියවලා ගිහින් රෑට බය වුනොත් නම් මම නෑ හොඳඳ....




අපේ අරුන් මල්ලී හොල්මන් වලට, කරුවලට එහෙම මාර බයයි. කොල්ලො කියන්නේ රෑට කරන්ට් නැතිවු‍නොත් එහෙම මූ දුවලා ගිහින් නෝනව බදාගන්නවලු... වැරදිලා හරි නෝනා හිටියේ නැතිනම් අල්ලපු ගෙදර නෝනව බදාගන්නවලු... වල් කමකට නෙමේ බන් බයට..... 

හරි දැන් කථාව.......

දවසක් අපේ අරුන් මල්ලී මොකක්ද වැඩකට BMICH ගිහින් රෑ 11 විතර උනාලු. මිනිහගේ බෝඩිම තිබුනේ බොරැල්ල හරියේ. කොහොම උනත් ඒ වෙලාවේ 3වීල් එකක්වත් පාරේ නැති හින්දා අරුන් පයින්ම බොරැල්ලට යනවාලු. 

මෙහෙම ගිහින් ඩී. එස්. සේනානායක ඉස්කෝලේ හරියට කිට්ටුවෙන අරුන්ට මතක් වෙනවලු ඉදිරියට හමුවෙන අති භයානක දෙයක්... බොරැල්ල කනත්ත......

ඒ හරිය පුරුදු නැති කෙනෙක් ඉන්නවනම් මේ සිතියම බලාගන්නකෝ.... ඒකේ රතු  පාටින් ලකුණු කරලා තියෙන්නේ කනත්ත.... නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ අවසාන වතාවට දකිනකොට අරුන් හිටිය තැන....


දැන් අරුන් කනත්තට හොඳටම ලං වෙලා.... රෑ 12 ටත් ලංවෙලා හින්දා කොල්ලාගේ කකුල් දෙකත් ගැහෙනවා... උෟ දෙයියන්ට කියකිය යන්නේ අනේ වාහනයක් වරෙන්... වාහනයක් වරෙන් කියලා....

මේ වෙලාවේ හරි අමුතු දෙයක් වෙනවා.... කිසිම සද්දයක් නැතිව අාපු කළුපාට කාර් එකක් අපේ අරුන් ලඟ නතරවෙනවා..... මෙච්චරවෙලා තමන් දෙයියන්ට කියපුවා ඇහිලා එවපු වාහනයක් කියලා හිතපු පොර දෙපාරක් තියා එකපාරක්වත් හිතන්නේ නැතිව වාහනනෙන් ඉඳගත්තා....

වාහනේ ඉඳගත්ත ගමන් ඒක හිමින් හිමින් යන්න පටන් ගත්තා... ඊටත් විනාඩි ගානකට පස්සේ තමයි අරුන්ට ආයිත් දෙයියෝ සිහිවුනේ.... වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් නෑ.... 
පොඩිකාලේ Knight Rider බලලා තිබුන වුනත් ඇත්තට එහෙම වුනාම කාටද බය හිතෙන්නේ නැත්තේ. අනික අර ගූගල් කාර් එකත් එන්න තව කල් තියනවනේ....

කොල්ලට දැන් සිහි නැතිවෙන්න ඔන්න මෙන්න.... බයට වාහනෙන් පනිනව තියා කෑගහන්නවත් කට ඇරෙන්නෙත් නෑ..... ඒ මදිවට දැන් කනත්තන් ටි‍කෙන් ටික ලං වෙනවා... දැන් මේ වාහනේ තියෙන්නේ වංගුවක් ලඟ. කෙලින්ම ගියොත් කනත්ත... වමට හැරුනොත් බොරැල්ල. 

එකපාරටම වාහනේ ජනේලෙන් කළුපාට අතක් ආවා... ඇවිත් වාහනේ වමට හැරෙව්වා. ආයෙත් හිමින් හිමින් බොරැල්ල පැත්තට යනවා... ඔය වාහනේ ගිය පාර තමයි උඩ කහපාටින් තියෙන්නේ...........

උඩ මැප් එකේ කොළ පාටින් රවුම් කරලා තියන හරියේ ෂෙඩ් එකක් තියනවා සමහර අය දන්නවා ඇති.
කොහොම හරි අපේ අරුන් යන හොල්මන් කාර් එකත්මේ ෂෙඩ් එකට හැරෙව්වා කියමුකෝ... සමහරවිට හොල්මන් කාර් උනත් පෙට්‍රල් නැතුව දුවන්නේ නැතිව ඇති....

වාහනේට තෙල් ගහන අතරේ සිහිඑලවා ගත්තු අරුන් මල්ලී ඉක්මනට වාහනෙන් එලියට ආවා.... ඒත් බුවා දිව්වේ නෑ.. ෂෙඩ්එකේ කට්ටිය ඉන්නවනේ දැන් කාට බය වෙන්නද.... කොල්ලා ටිකක් ඈතට වෙලා බලාන හිටියා මොකද වෙන්නේ කියලා.

මෙහෙම ඉන්නකොට අරුන් දකිනවා තමන්ට වුනා වගේම තවත් මනුස්සයෙක් මේ කාර් එකේ ඉඳගන්න හදනවා... 

කොච්චර උනත් මට වුන දේ තවත් කෙනෙකුට වෙන්න දෙන්න හොඳනෑ කියලා හිතපු අරුන් මල්ලී එයා ලඟට ගිහින් එයාව නැවැත්තුවා.... ඊට පස්සේ ඒකට හේතුව විදියට තමන්ට වුන සම්පූර්ණ සිද්ධියම මිනිහට කීවා.

ඒක අහන් හිටපු අර බුවා ඔළුවේ අතගහගෙන කීවේ මෙච්චරයි.....

"තමුසේ මාර මිනිහෙක්නේ ඔයි... මම මේ වාහනේ පෙට්‍රල් නැතුව මෙතෙන්ට තල්ලු කරන් එනකන්ම තමුසේ මේක ඇතුලේ වාඩිවෙලා හිටියද?????"

Monday, November 17, 2014

පුහුල් හොරා ඇප ගනී...

එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල් වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්‍රධානියෙකුගෙ උපදෙස් පිට අර ගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේම ගියා. මේ ප්‍රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තම ගෙයින් එළියට ආ එක මිනිහෙක් ගොවිරාල "පුහුල් හොරා කරෙන් දැනේ" කියනකොටම තමන්ගේ කර පිසදැමුවා. එවිට මෙයා තමයි පුහුල් හොරා කියලා ගමරාලයි ගම් ප්‍රධානියයි මිනිහව අල්ලගත්තා.



ඔය අපි පොඩිකාලේ ඉඳන් දන්න කතාවනේ..... ඊට පස්සේ මොකද උනේ????? 

අද එතැන් සිට...

අල්ලා ගත්තු මිනිහ එදා හවසම රක්‍ෂිත බන්ධනාගා‍ර ගත කළා. අනුන්ගේ දේපලක් සොරා ගැනීමේ වැරැද්දට සැක කරල. දින දාහතරකට පස්සේ නීතීඥ පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් සැකකරුට ඇප ඉල්ලුවා‍.

පුහුල් හොරකමට අදාල පරීක්‍ෂණ තවම අවසන් වී නොමැති නිසාත්, තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසාත්, සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතීඥවරු සිය විරුද්ධත්වය ප්‍රකාශ කළා. මෙම සැකකරු ඇප මත නිදහස් වුවහොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අයුතු බලපෑම් සිදුකළ හැති බවත් නීතීඥවරු ප්‍රකාශ කළා.

විත්තියේ නීතිඥවරු කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ සිදුකරන ආකාරය ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි. තවමත් සිද්ධියට අදාළ පුහුල් ගෙඩියවත් අත්අඩංගුවට ගෙන නැතැයි ඔවුන් දන්වා සිටියා.

පුහුල් ගෙඩියේ නැට්ට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර 'ගෙඩිය' ඉදිරි දින කිහිපය තුල අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා.

තම සේවාදායකයා හතරපෝයට අටසිල් සමාදන් වන වාර්ෂිකව වට වන්දනාවේ යෙදෙන උපාසක කෙනෙකු බවත්, ඔහු බන්ධනාගාර ගත කළහොත් ඔහුට ඉන් අගතියක් සිදුවිය හැකි බවත් විත්තියෙන් පැවසුනා. සැකකරු සැඟවීමට උත්සාහ නොකොට සීනු හඬට ඉදිරියට පැමිණීමෙන් ඔහුගේ අවංකභාවය පෙන්වා ඇති බැව්ද විත්තියෙන් පුකාශ කළා. 

සැකකරුගේ අවංකභාවය සැකයට තුඩුදෙන කරුණක් බවත්, ගොවිරාල ඉදිරිපිටදීම කර පිස දැමීමෙන් එය පැහැදිලි බවත් පැමිණිල්ල දක්වා සිටියා. පුහුල කර නොගැසුවා නම් කර පිසදැමීමේ අවශ්‍යතාවය කුමක්දැයි නීතිඥතැන විමසා සිටියා.

තම සේවාදායකයා එදා කර පිසදමා ඇත්තේ ඩෙංගු මදුරුවන් වසා ඇතැයි වූ බිය නිසා විනා අළු පිසදැමීමට නොවන බවත්, අවශ්‍ය නම් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට වුව යොමු කළ හැකි බවත් විත්තිය පුකාශ කළා. හොරකම සිදුවීමෙන් පසු ගමරාල හැසිරී ඇති ආකාරය නීත්‍යානුකූල නොවන බවත්, බැරිවීමකින්වත් සීනු නාදයට විශාල පිරිසක් එක් රැස් වූයේ නම් හදිසි නීති රෙගුලාසි පවා උල්ලංඝනය වීමට ඉඩ තිබූ බවත් විත්තිය දන්වා සිටියා. එබැවින් ගමරාලවත් අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත් පැවසුවා.

දීර්ඝ විභාගයකින් අනතුරුව සැකකරු ඇප මත නිදහස් වූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමටත්, සෑම ඉරු දිනකම පෙරවරුවේ ළඟම ඇති පොලීසියේ පෙනී සිටීමටත් නියෝග කෙරුනා.

“දැන් තමන්ට ගෙදර යන්න පුළුවනි ඊලඟ දිනේට නොවරදවා උසාවි එන්න” විත්තියේ නීතිඥ සැකකරුට කිව්ව.

“අපොයි! සර් එහෙම කොහොමද පහුගිය සුමාන දෙකේ පාවිච්චි කරපු හෑන්ඩ් ෆෝන් එකයි, කලර් ටීවී එකයි, ඇඳ ඇතිරිලි ටිකයි භාර දීල ඒ මහත්තුරුන්ට පින් දෙන්න එපැයි” කියූ පුහුල් හොරකමේ ප්‍රධාන සැකකරු බන්ධනාගාර බස් නැවතුම්පොළ දෙසට දිවිවා.


ප.ලි

මේක දැක්කේ පරණ පත්තර කෑල්ලක. මොන පත්තරේද, දිනේ කවදද කියලා හොයාගන්න බෑ. තිබුනේ "අතුල ජයසිංහ" කියන නම විතරයි. ස්තුතිය ඔහුට.....

Monday, November 10, 2014

අලියා සහ චිකන්........

අලියගෙයි චිකන් වලයි අතර තියන සම්බන්දෙ මොකක් කියලද හිතන්නෙ???



මේ ‍ෆොටෝ එකේ වගේ සම්බන්ධයක් ගැන ‍එහෙම වරදවා වටහාගන්න එපා ඕං.... මම මේ කියන කතන්දර දෙකේම කතානායකය අපේ රංග මල්ලිගෙ ලොකු අම්මගෙ පුතා වීම හැරුනහම වෙන කිසිම සම්බන්ධයක් ඒ අත‍රෙ නෑ හො‍ඳේ....

අපේ රංග මල්ලියි පොරගේ ලොකු අම්මගේ පුතයි දෙන්නම එක ලඟ වයස්වල. ඒ නිසා ඥාතිකමට මල්ලි උනත් ඩබල හිටියේ යාලුවෝ වගේ. පොරගේ නම අපි කියමුකො එරංග කියලා. හැබැයි එරංගගේ මොළේ පොඩි අවුට් ගතියක් තිබ්බා. රංගයා ඌව පොඩි කාලේ ඉදන් ආශ්‍රය කරන නිසා එච්චර වෙනසක් දැනිලා නෑ.... හැබැයි මේ කේස් දෙකෙන් පස්සේ ඌට විතරක් නෙමේ උගේ අම්මටත් (ලොකු අම්මා) ඒ අවුට් ගතිය තියනවා කියලා රංගයා දැනගත්තා.

මුලින්ම චිකන් වුන අවාසනාවන්ත කුකුලගේ කතාව කියන්නම්...

‍ලොකු අම්මලා කට්ටිය ගමේ අයත් එක්ක වන්දනාවේ ගිය දවසක රෑ කොල්ලොටික ඒ ගෙදර බොන්න ‍සෙට්වෙලා තියනවා හැබැයි රංගයට එදා යන්න බැරිවෙලා. මේ තියෙන්නේ පහුවදා ඒ ගැන ඇතිවෙච්ච කතාබහ

රංග      : ඊයෙ රෑ මොකද කරේ ?
එරංග    : මාර වැඩේනේ බං උනේ, අපේ එවුන් ටික කුණුවෙන්න බීලා කන්න ගියහම මස් නැතිව කන්න බෑ කීවනේ.
රංග      : ඉතින්?
එරංග    : ගෙදර මස් තිබ්බේ නෑ... ඒ හින්දා මුං එකතු වෙලා ගෙදර හිටපු කුකුළව මරලා ඉව්වනේ. මටත් ‍මොනවත් කියන්න විදියක් තිබ්බේ නෑ.
රංග      : උඹලා මාර යක්කුනේ. එහෙම ගෙදර ඉන්න සත්තු මරාගෙන කන සිරිතක් තියනවයෑ. අනික් උන් කොහාම වෙතත් උඹ කොහොමද බං අර සතාගේ මස් කෑවේ?
මල්ලි    : අනේ මම උගේ මස් කෑවෙ නෑ බං...  ‍බීල හිටිය උනත්, මම කොහොමද අර ගෙදර හුරතලේට වගේ හිටපු සතාගේ මස් කන්නේ... ඒ හින්දා මං චිකන් හොදිත් එක්ක පාං කෑල්ලක් කෑව.

දැන් අලියගේ කතාව.....

දැනට අවුරුද්දකට විතර කලින් රංගලාගේ පවුල්වල කට්ටිය දකුණු පළාත පැත්තේ ට්‍රිප් එකක් ගියා. ගියේ ලොකු අම්මලාගේ වෑන් එකේ. රියදුරු තමයි අපේ එරංගයා.

මෙහෙම දැන් කට්ටිය දැහැමෙන් සෙමෙන් (එහෙම කීවට හෙමින්මත් නෙවේ ගිහින් තියෙන්නේ 100ට විතර...) යන අතරේ, මේ යකා වෑන් එක ගිහින් හප්පලා‍නෙ පාර මාරුවුන වල් වන අලියෙකුගෙ ඇ‍‍ඟේ. තුවාල වුන අලියා කෑගහගෙන කැලේට දුවලා. වෑන් එකට සෑහෙන ඩැමේජ්ලු.

කොහොම හරි පොලීසියට ගිහින් කටඋත්තරයක් දෙනකොට මූ කියනවලු පාරේ අලියා ඉන්නවා දැක්කෙ නෑ කියලා. හොහොම හරි රංග මල්ලි කීවේ වැඩේට ලක්‍ෂ 2-3ක දඩයක් වැදුනා කියලා (තුවාල වුන අලියාගේ ප්‍රතිකාර වෙනුවෙන් වන ජීවී දෙපාරේතමේන්තුවට ගෙවන්න ඔනේ)

හොඳම සීන් එක තමයි, කේස් එක වෙලා වාහනේ අරන් පොලිසියටත් යන අතරේ රංගගේ ලොකු අම්මා අහනවලු පුතාගෙන් වාහනේ වැදුනේ මොකේද පුතේ?” කියලා. අලියෙක්ගේ ඇ‍ඟේ වැදුනේ අම්මේ කියලා පොර උත්තර දුන්නහම බයවුන ලොකු අම්මා කලන්තේ දාලා වැටිලා. සිහිය ආවේ පහුවදාලු.


Wednesday, October 29, 2014

දුම්රියේ ඛේදවාචකය (සිතන්න යමක්)...........

ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම් කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙක භාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණි මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවන මාර්ගයේ.

හදිසියේම දුම්රියක් එනවා..... මේ අවස්ථාවේ එම දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන  ළමයින් ‍බේරාගැනීමට ඔබට කරන්න පුළුවන් එකම එක තෝරාගැනීමක් පමණයි. එනම්, එම දුම්රිය පැරණි මාර්ගයට යොමු කිරීම විතරයි. නමුත් එයින් ඒ මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින ළමයා දුම්රියට බිලිවෙනවා.

ඔබ ගන්නා තීරණය කුමක්ද? ළමයින් බහුතරයකගේ ජීවිතය වෙනුවෙන් එක් ළමයෙකුගේ ජීවිතය කැප කරනවාද? නැතිනම් දුම්රිය යායුතු මාර්ගයේම යන්නට ඉඩහරිනවාද?

මොහොතක් කල්පනා කරන්න....................

?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?

මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙන බොහෝ දෙනෙක් කියන්නේ කීපදෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් එක් අයෙකුගේ ජීවිතය කැපකිරීම සාධාරණ බවයි. ඔබගේත් තීරණය එය නම්, මදක් පහත කරුණු සලකා බලන්න....

පැරණි දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයා ආරක්‍ෂාකාරී ස්ථානයක සෙල්ලම් කිරීම යන නිවැරදි තීරණය ගෙන ඇති බව ඔබ පිළිගන්නවාද? එසේනම් ඔහුගේ මිතුරන්ගේ වැරදි (මම නම් මෙයට කියන වචනය “මෝඩ”) තීරණය නිසා ඔහුට දුම්රියට බිලිවන්නට සිදුවීම කොතරම් සාධාරණද? එසේනම් බුද්ධිමත් තීරණ ගැනීම යනු වැරැද්දක්ද?

මෙවැනි ඛේදවාචක ඕනෑතරම් අද අපේ සමාජයේ (විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක) දක්නට ලැබෙනවා. බහුතරයකගේ තීරණය කොතරම් අදූරදර්ශී / අනුවණ වුවත් ඒ සඳහා පිළිගැනීම ලැබෙනවා, එම තීරණ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වන්නේ බුද්ධිමත් තීරණ ගන්නා සුළුතරයයි.

(මේ සඳහා හොඳම උදාහරණය “මැතිවරණය” යන වචනය තුල අන්තර්ගත වේදැයි මම නොදනිමි)


දැන් අපි අපේ ගැටළුවට නැවත යොමුවෙමු... ඔබ දුම්රිය යායුතු මාර්ගයේම යන්නට හැරියොත් කුමක් සිදුවෙයිද?

බොහෝවිට එම මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් එහි දුම්රිය ගමන් කරන බව දන්නා නිසා අවධානයෙන් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් දුම්රියක හඬ ඇසුනු විගසින් ආරක්‍ෂාකාරීව දුම්රිය මගෙන් ඉවත් වීමට ඉඩ තියනවා.

එමෙන්ම, ඔබ දුම්රිය පැරණි මාර්ගයට යොමු කළහොත් එහි සිටිනා ළමයා කිසිසේත්ම එම මාර්ගයේ දුම්රියක් පැමිණේයයි නොසිතන නිසා එයට බිලිවීමට වැඩි ඉඩක් තියනවා.

ඒ වගේම, පැරණි දුම්රිය මාර්ගය භාවිතා නොකරන නිසාවෙන් එහි දුම්රියක් ගමන් කිරීම සඳහා සුදුසු තත්වයක් පවතිනවාදැයි කිසිම සහතිකයක් නැති අතර දුම්රිය අනතුරකටද ලක්විය හැකියි. වෙනත් අයුරකින් කියනවා නම්, ඔබ එම දුම්රියේ ගමන් කරන සිය ගණනකගේ ජීවිත ළමයින් කිහිප දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් කැප කරනවා වෙන්න පුළුවන්. 


අපගේ ජීවිතය යනු අප විසින් ගන්නා විවිධ තීරණයන්හි එකතුවකි


එසේ නම් මතක තබාගන්න.....


  • හැඟීම් මත පදනම්ව ගන්නා ඉක්මන් තීරණ සැමවිටම නිවැරදි තීරණ නොවේ.

  • ජනප්‍රිය තීරණය සැමවිටම නිවැරදි නොවිය හැකි අතර, නිවැරදි තීරණය සැමවිටම ජනප්‍රිය නොවිය හැක.


ප. ලි.

මම මේ කතාව ලියුවේ කාලෙකට ඉහත ඊමේල් හරහා Train Track & Children / Train Tracks Dilemma වගේ නම්වලින් පැතිරුන කතාවක් ආශ්‍රයෙන්. එහි කතෘ ගැන සඳහනක් නොවුනත්, එයට පාදක කරගෙන තියෙන්නේ Philippa Foot විසින් මුලින්ම හඳුන්වාදෙනු ලැබූ The Trolley Problem නම් සිද්ධාන්තයයි.
 

Friday, October 24, 2014

කාලෙකට පස්සේ.....

ගොඩ කාලයක් තිස්සේ බ්ලොග් එක පැත්ත බලන්න බැරිවෙලා තිබුනේ වැඩ වැඩි හින්දා. ඒත් දැන් ආයෙ ටිකක් විතර නිදහසක් ලැබිලා තියෙන නිසා ආයෙමත් කතන්දරයක් දෙකක් පුළුවන් විදියට ලියලා දාන්න හිතුවා. 

දැනට මාස කීපෙකට උඩදි මම අපේ ලොක්කයියාටත් බ්ලොග් එක කියවන්න දුන්නා, අපි කට්ටිය ට්‍රිප් එකක් ගිහින් මහ කැලයක් මැද චාටර් වෙවී හිටපු වෙලාවක. ඌ ඒක ටිකක් කියවන අතරේ කියනවා "යකෝ මමත් මෙහෙම සීන් එකක් උනා කියලා අමතක කරලා තිබුනේ. ඒත් මගේ කරුමෙට බොට මතක තිබුනනේ" කියලා. ආයෙ ඌ මට ‍උගේ පොඩිකාලේ කතා කියන එකක් නැද්ද දන්නේ නෑ.

කොහොම උනත් කියන්න පරණ කතන්දර නම් ගොඩක් තියනවා. මතක් කරගෙන ලියන්නම්. එතකන් අපේ මංගි නැන්දා එවලා තියන ත්‍රී වීල් වැකි ටිකක් දාන්නම්.