Sunday, October 30, 2011

හාවා.........

මේ කතාව මීට ගොඩක් කාලෙකට කලින් අපේ අය අතරෙ හිට් වෙච්ච කතාවක්. කොටින්ම දැනටත් අපේ එවුන් මීට සමාන සිදුවීම් වලට කියන්නේ "හාව කරනව" කියල. ඇත්තටම මම මේක කියෙව්වෙත් ජාලෙ තිබිලම තමයි, හැබැයි මීට අවුරුදු 5-6කට කලින්.

සිංහල යුනිකෝඩ් භාවිතයට ආවෙත් ඊට ටික කාලෙකට කලින්. ඒත් සිංහලෙන් ලියවෙන වෙබ්සයිට් / බ්ලොග් නම් ගොඩක් තිබුනේ නෑ, ගොඩදෙනෙක් කලේ සිංහලෙන් ටයිප් කරලා ඉමේජ් එකක් විදියට දාන එකයි. මම මේ කතාව කියෙව්වෙත් එහෙම ඉමේජ් එකක් විදියට දාල තිබුන සයිට් එකකින්. අද මට හදිස්සියේ ඒගැන මතක් වෙලා හොයල බැලුවත් හොයාගන්න බැරිඋනා. 

ඒ නිසා මට මතක තියන විදියට කතාව කියන්නම්....... එහෙනම් හැමෝම සාදු කාරයක් එහෙම දීල, අහගෙන ඉන්න අපේම අයියලා ටිකක් දරුණු හාවෙක් අල්ලපු විදිය......


ඔන්න එකමත් එක කාලෙක (එහෙම පටන් ගන්නෙ සුරංගනා කතා විතරක් කියලා හිතන්න එපා හොදඳ....) ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න.

කොහොමින් හරි මේ තර‍ඟේ මේ විදියට ගිහිල්ලා රටවල් තුනක පොලිසි අන්තිම වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ අති ජනප්‍රිය ශ්‍රී ලංකා පොලිසිය.

දැන් මේ තර‍ඟේ අන්තිම වටය.... ඒක කරන්නේ මෙහෙමයි;  
කැළෑවකට හාවෙක් දානවා. ඉක්මනින්ම ඒ හාවව හොයාගෙන එන පොලිසිය තමයි තරඟය දිනන්නේ.....

දැන් පළවෙනි අවස්ථාව ලැබුනා එංගලන්ත පොලිසියට (අපේ එවුනුත් අදින්නෙම සුද්දගෙ පැත්තට නිසා මේ තරඟයෙත් පළවෙනි අවස්ථාව සුද්දටම ලැබුනු එක ගැන දුක්වෙන්න එපා...)

කට්ටිය කැලේට ගිහින් සෑහෙන වෙලාවක් ගත කරලා ගස් ගල් වලිනුත් කටඋත්තර අරගෙන එහෙම හිස් අතින්ම එලියට ආවලු..... ඇවිත් තඩි රිපෝට් එකක් භාරදුන්නලු..... ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි;

හාවා සොයාගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වී ඇත

දැන් ඔන්න දෙවනි අවස්ථාව ලැබුනා කියමුකො ඇමරිකානු පොලිසියට (ඔන්න ආයෙත් සුද්දට.....)

එයාලා දෙපාරක් තියා එක පාරක්වත් හිතුවේ නෑ..... කෙලින්ම බෝම්බ දාලා මුළු කැලේම ෆ්ලැට් කරා. එහෙම කරලා එයාලත් තඩි රිපෝට් එකක් භාරදුන්නා..... ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි;

දැන් හාවාගෙන් කිසිදු තර්ජනයක් නොමැත

ඔන්න එහෙනම් අන්තිම අවස්ථාව අපේ අහිංසක ශ්‍රී ලංකා පොලිසියට ලැබුනා..... 

මේ කථාවන් කියවෙන්නේ වෙනස් කැළෑ තුනක් කියලා අපි හිතමු නැත්නම් කට්ටිය ඊලඟට මගෙන් අහයි බෝම්බ දාලා ෆ්ලැට් කරපු කැලෑවේ ආය හාවො හෙව්වේ කොහොමද කියලා......

දැන් අපේ පොලිස් අයියලා ටික බැස්සා කැලේට..... ගිහින් හැරෙන තැපෑලෙන් පොරවල් ටික ආපහු එනවා. හැබැයි එන්නෙත් නිකන් නෙමේ.... 

මුන් ටික තඩි වලහෙක් අල්ලගෙන ඌට ගහගහ ඇදගෙන එනවා...... හොඳටම ගුටිකාපු වලහ අඬඅඬ මෙහෙම කියනවලු......


"අනේ සර්.... ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා.... මම තමයි හාවා...."


Thursday, October 20, 2011

මව්බස

මේ දවස්වල අපේ පොඩි කොල්ලෝ කස්ටිය මව්බස දුර්වල හින්දා Office එකේම කෙනෙක්ගෙන් සතියට පැය 2-3ක් ටියුෂන් ගන්නවා. ඔය මව්බස මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ...... අර රැජිනගේ භාෂාව කියන්නේ...... 


අපේ අර්ථ දැක්වීම අනුව නම්  "යමෙක් යම් භාෂාවකින් කතා කරනවිට අපිට ඔහුගේ මව මතක්වේද....... ඒ මව්බසයි" කියලා තමයි කියන්නේ. එහෙම බලනකොට ඔය අම්මලා තාත්තලා සුද්දෝ වුන අයට ඇර අනිත් හැමෝගෙම මව්බස තමයි මේක.


ඔය මව්බසේ ප්‍රශ්ණ නිසා අපේ අයගෙන් වැඩියෙන්ම දුක්වින්දේ ඩොකා අයියයි, නර්ස් මල්ලියි තමයි... කොහොමටත් උන් දෙන්න මව්බසෙන් නෙමේ සිංහලෙන් කරත් කරන්නේ මොලේ උළුක්වෙන වැඩ තමයි..... අපේ එවුන් දෙන්නට දීල තියෙන්නෙත් ධාර්මික නම් දෙකක් "තපස්සු - භල්ලුක" කියලා......


එක සැරයක් මගේ Wedding Anniversary එක දවසක උදේ අපේ ඔක්කොම ඇවිදින් මට Wish කරනවා..... දැන් හැම එකාම Happy Anniversary......! කිය කියා අතට අත දෙනකොට කොහෙද ඉඳන් දුවගෙන ආපු නර්ස් මල්ලි, "ආනේ.... අයියේ අද ‍ඔයාගේ උපන්දිනේද????" කියලා අහලා අතට අත දුන්නා...........


ආයෙ දවසක ඩොකා කොහෙදෝ යන්න පාරක් අහගන්නවා. පාර කියල දෙන එකත් පාර කියලා දීලා "මචං මේක මේ Walking Distance නේ..." කීවා..... ඒක අහලා ඩොකා කියනවා "ආ... ඇත්තද මචං, මම හිතුවේ පයින් යන්න පුළුවන් කියලා.... එහෙනම් මං ත්‍රීවීල් එකකවත් යන්නම්......" කියලා.....


තවත් දවසක් රෑ වෙනකන් වැඩ කරපු ඩොකා අපෙන් අහනවා "මචං වෙලාව කීයද???" කියලා..... එකෙක් උත්තර දුන්නා "මචං Seven Thirty" කියලා.... ඒ කීව විතරයි කලබල වෙලා නැගිට්ට ඩොකා, "මලා.....! අටත් පහුවෙලා නේ...... අද නම් මට බස්එක අල්ලගන්න බැරිවෙනවා...." කියලා දුවලා ගියා......


මව්බස නිසා ඇඟ රිදෙන්නම කර‍දරේ වැටුනේ අපේ රංගයාගේ ගමේ පොරක්...... ඒ පැත්ත මුදවපු කිරි වලට එහෙම ප්‍රසිද්ධයි.


රංගගේ ගම පැත්තේ ඇවිදින්න ‍ආපු සුද්දෙක් එහේ කඩයකටත් ගොඩඋනාලු...... පොර මුදවපු කිරි හට්ටියක් එහෙමත් අරගෙන පැත්තකින් තියලා තවත් මොනවා හරි දෙයක් ගන්න එතනින් එහාට ගියාලු.... 


ඒ අතරේ මෙතෙන්ට ආපු කොහෙද යන කපුටෙක් ඔය කිරි හට්ටිය දැකලා ඒකට හොට ගහලා කෑවලු..... මේ අතරෙ ආපහු ආපු සුද්දා කිරි හට්ටිය කවුද කාල තියනව දැකල මල පැනල ඉන්නවලු......


දැන් මෙතනදි තමයි අපේ පොර වීරයා සේ එලියට එන්නේ..... මොකද මිනිහ විතරයි දැකල තියෙන්නේ කිරි හට්ටියට වුන දේ..... මිනිහ සුද්ද ලඟට ඇවිත් හිනාවෙලා කීවලු "සර්.... කිරි හට්ටිය කපුටා කෑව කියලා...." 


කරුමෙ කියන්නේ සුද්දට සිංහල මෙලෝ දෙයක් තේරෙන්නේ නෑලු.... ඒ මදිවට මිනිහ තේරුම් අරන් තියෙන්නෙත් මේ කතා කරන පොර තමයි කිරි හට්ටිය කෑවේ කියලලු...... 


දැන් සුද්ද අරූට පෙරලගෙන ගහනවලු කිරි හට්ටිය කෑව කියල..... මව්බස නිසා වැඩේ වැරදුන බව තේරුම්ගත්ත අපේ පොර ගුටිකන ගමන් මෙහෙම කියලා කෑගහනවලු.....


"අනේ...... ඉංග්‍රීසි දන්න කෙනෙක් කියාපල්ලකෝ............ කිරි හට්ටිය කෑවෙ මම නෙමේ කපුටා කියලා............."





Disclaimer

මෙය ඉංග්‍රීසි නොදන්නාකමට අපහාස කිරීමේ අරමුණින් ලියූවක් නොව විනෝදස්වාදය ලබාදීමේ අරමුණින් පමණක් ලියූවක් බව කරුණාවෙන් සලකන්න.



ප.ලි. Disclaimer

මේ සිංහලත් අමාරුවෙන් ගැටගහගෙන ලියන අපිටත් ඉංග්‍රීසි පුළුවන් උනානම්, අපිත් ඉංග්‍රීසි බ්ලොග් ලියනවනේ..... නැතිනම් අපි ලියයි සිංහල බ්ලොග්.........

Thursday, October 13, 2011

Code 46..... වෙනස් කතාවක්

මම දැනට දවස් කීපයකට උඩදි තමයි මේ Film එක බැලුවේ. ඇත්තටම මේක Sci-Fi එහෙම නැතිනම් විද්‍යා ප්‍රබන්ධ වර්ගයට ගැනෙන කතාවක් වුනාට අපි ඒ වර්ගයේ චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන්නේ නැති විදියේ දුක්බර අවසානයක් දකින ආදර කතාවක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ



Code 46 නිෂ්පාදනය කරලා තියෙන්නේ BBC Films සහ Revolution Films කියන ආයතන දෙක විසින්. Michael Winterbottom ගේ අධ්‍යක්‍ෂණයක් වන මේ Film එකේ ප්‍රධාන චරිත දෙක වන William Geld සහ Maria Gonzalez විදියට Tim Robbins හා Samantha Morton රඟපානවා. Film එකේ කතාව කෙටියෙන් කීවොත්; 

අනාගතයේ ලෝකයේ ජීවත්වන මිනිස්සුන්ට රජයෙන් තහනම් නියෝගයක් පනවනවා ජානමය වශයෙන් සම්බන්ධ දෙන්නෙකුට විවාහ වෙන්න බෑ කියලා..... ඒ නියෝගය තමයි Code 46 කියලා හඳුන්වන්නේ. මේ කාලයේදී වංචාවක් ගැන පරීක්‍ෂණයක් පවත්වන්න වෙනත් රටකට යන විලියම් එහිදී හමුවන මරියා සමග ආදරයෙන් බැඳනවා. නමුත් විලියම් හා මරියා ජානමය වශයෙන් සම්බන්ධ බව හෙලිවෙනවත් සමගම ඔවුන් බලධාරින්ට අහුනොවී ඒ රටෙන් පැනලා යනවා..... නමුත් අන්තිමේදී දෙන්නා අත්අඩංගුවට ගන්නවා. නීතිය කැඩීම නිසා විලියම්ට ලැබෙන දඬුවම තමයි තමන්ගේ ආදරය ගැන හැමදෙයක්ම මතකයෙන් මකා දැමීම..... ඒ වගේම මරියාට ලැබෙන දඬුවම වන්නේ තම ආදරය ගැන සියලුමදේ මතකයේ තබාගෙන හුදකලාව ජීවත් වන්න සිදුවන එක.... 

Code 46 අන්තිමේදී අපිව හිතන්න පොළඹවනවා වඩාත්ම දරුණු දඬුවම  අතීතය අමතක කරවීමද නැත්නම් මතක තබාගැනීමද කියනඑක ගැන....


Film එක ගැන තව විස්තර බලාගන්න ඕනෙනම් මෙතනින් පුළුවන්. ඒවගේම මෙතනින් Torrent File එක ගන්න පුළුවන්. අනිත් කාරනය තමයි මේ Film එක ටිකක් විතර 18+. ඒ නිසා පරිස්සමින් බලන්න.



ප.ලි.

ඇත්තටම මට මේ ගැන ලියන්න හිතුනේකතන්දරගේ මෙන්න මේ පෝස්ට් එක දැකලා

Tuesday, October 11, 2011

කවි මඩුව........

මේ ඊයේ අපේ රෝසි අක්කට ඊතල මේල් එකකින් ආපු කවි මඩුවක ගිය කවි සංවාදයක්. මුලින් නම් රෝසි අක්ක අපිට පෙන්නුවේම නැහැ කාන්තා පාර්ශවයට විතරයි පෙන්නුවේ..... මම හිතත්නේ පොඩි කොල්ලෝ නරක් වෙයි කියලද දන්නේ නෑ....... 


කොහාම හරි අන්තිමේදී මටත් මේල්එක Forward කරලා තිබ්බා. හැබැයි මේ කවි සංවාදය තිබුන තැන, දිනය, හිටපු කට්ටිය ගැන විස්තර මොනවත්ම ඒ මේල් එකේ තිබුනේ නෑ..... මට හොයාගන්නත්  බැරිවුනා.....  දන්න කෙනෙක් ඉන්නව නම් අපිටත් කියන්න හො‍‍ඳේ......


මෙන්න එහෙනම් කවි මඩුව;




කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත


කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි


කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ

කවියා:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ

කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

කවියා:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ

කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

කවියා:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

කවියා:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය

කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ

කවියා:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්

කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා


මුලාසනය:

හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

අද කවි මඩුව මෙතනින් අවසානයි... අසා සිටි ඔබ සැමට ස්තූතියි............ 

ප.ලි.
සමාවෙන්න ඕනෙ...... මේ කවිමඩුවේ විස්තරය මීට කලින් පෝස්ට් කරලා තියෙන්නේ ලට්ට ලොට්ට බ්ලොග් එකේ කියලා Anonymous කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා...... මාව දැනුවත් කරාට එයාට මගේ ස්තූතිය........
ඒ වගේම ලට්ට ලොට්ට ලියන පොඩි මෑන්ට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා........... ඇත්තටම කවි මඩුව ගැන සම්පූර්ණ විස්තරය පොඩි මෑන්ගේ පෝස්ට් එකේ තියනවා
නැවතත් පොඩි මෑන්ට මගේ කණගාටුව ප්‍රකාශකරන අතරම මම හැමෝටම ආරාධනා කරනවා කවි මඩුව ගැන නියම විස්තරය මෙතනින් කියවන්න කියලා....

Sunday, October 2, 2011

විකිණීම.......

ලියන්න කතා ගොඩක් තිබුනත් ලියාගන්න වෙලාවක් නැති එක නම් මාර දුකක්........ ඒ ගැන කතාකරලා වැඩක් නෑ. ඒ නිසා මම වෙන දෙයක් ගැන කතා කරන්නම්.

සිකුරාදා උදේ තිලකෙ මාමත් එක්ක පොඩි ගමනක් යන්න තිබුනා...... එතෙන්ට යනකොට පොර කොලයක් කියවනවා මාර උනන්දුවෙන්. බලනකොට ඒකේ නම "බේබදු අත්පොත". හවස Office ආවහමයි දැනගත්තේ අපේ සිතා මල්ලි මටත් "බේබදු අත්පොත" Mail කරලා තිබිලා සතියකට විතර කලින්. ඒත් මම අතින් ඒ ‍Mail එක මැකිලා....

කොහොම හරි මම ජාලෙන් ඒ අත්පොත හොයාගත්තා. ඕනෙනම් ඒක මෙතනින් බලලම ඉන්නකෝ.... 

බේබදු කතා හින්දා තව ඩිංගෙන් අද කියන්න ගිය කතාවත් අමතක වෙනවා අද කතාවේ කතානායකයා තමයි තිලකෙ මාමගේ ගමේ ගෙවල් ලඟ කඩේ මුදලාලි....... 

පොර තිලකේ මාමගේ හොඳ බේබදු යාලුවෙක් තමයි.... ඒත් තිලකේ මාම කියන විදියට මිනිහා අදහන්න වටින පොරක්... මිනිහට ඕනෙම ජරා ගොඩක් මාකට් කරලා විකුණන්න පුළුවන් වගේම ආෆ්ටර් සේල්ස් සර්විස් එකත් තිතට දෙන්න පුළුවන්...... 

ඇත්තටම මිනිහා ඇමරිකාව පැත්තේ ඉපදුනානම් අද වෙනකොට ලොකු කෝටිපතියෙක් වෙලා ඉන්න තිබ්බා කියලා තමයි කට්ටියගේ අදහස.... ඒත් ඒ ගැන පොරට කියනකොට පොර කියනවා කියන්නේ.... "වැඩක් නෑනේ මල්ලී.... මට ඉංග්‍රීසි බෑනේ......" කියලලු.

මේ මිනිහගේ Marketing & After-Sales Service ගැන පොඩි උදාහරණයක් දෙකක්...... 

අපේ මුදලාලි පොරගෙ කඩේ ඕනෙම දෙයක් විකුණන්න තියනවා..... තිලකේ මාම නම් කියුවේ "ඒ කඩේ අම්ම තාත්තා විතරයි විකුණන්න නැත්තේ" කියලා....

දවසක් පොර මඤ්ඤොක්කා වගයක් විකුණන්න දාලා තියනවා. කොහොම හරි මේ මඤ්ඤොක්කා ටිකක් අවුල්ලු. ඒ කියන්නේ හොඳට තැම්බෙන්නේ නැතිලු.... ඉතින් දැන් විකුණපු දාට පහුවදා උදේ පාන්දර ඉඳන්ම පැමිණිලි ලෝකයයිලු මඤ්ඤොක්කා තැම්බෙන්නේ නෑ කියලා.... 

ඒත් අපේ මුදලාලි සැලෙන්නෑ.... කවුරු ඇවිත්මඤ්ඤොක්කා තැම්බෙන්නේ නෑ කියලා චෝදනා කරත් පොර උත්තර දෙන්නේ මෙහෙමයිලු.....

"නෝනා, මඤ්ඤොක්කා තම්බනකොට ලිපට පොල්කටු එහෙම දැම්මද???..."

ආව කෙනා නෑ කීවොත්........

"අයියෝ නෝනා, මඤ්ඤොක්කා තම්බන්නේ කොහොමද ලිපට පොල්කටු නොදා..... ඒකයි එහෙනම් තැම්බිලා නැත්තේ.... ආයේ තම්බනකොට ලිපට පොල්කටු දාන්න....."

බැරිවෙලාවත් ආව කෙනා ඔව් කීවොත්........

"අයියෝ නෝනා, කවුද මඤ්ඤොක්කා තම්බනකොට ලිපට පොල්කටු දාන්නේ..... ඒකයි එහෙනම් තැම්බිලා නැත්තේ.... ආයේ තම්බනකොට ලිපට පොල්කටු දාන්න එපා....."

ඉතින් පැමිණිලි අරන් ආපු පාරිභෝගිකයෝ හැමකෙනාම තමන්ගේ වැරැද්ද ගැන මුදලාලිගෙන් සමාව ඉල්ලලා හරි සතුටින් ආපහු යනවලු.........

අනිත් සිද්ධිය නම් තිලකෙ මාමටම වුන වැඩක්.......

තිලකෙ මාමා දවසක් යනකොට කඩේ Grapes තියනවලු.... පොරත් ඉතින් පොඩි එකාට Grapes ටිකක් ගෙනියන්න කියලා හිතලා එතෙන්ට ගිහින් බලනකොට තියෙන්නේ අර චූටි ගෙඩි තියන වර්ගයක්ලු

ඉතින් තිලකෙ මාමා "මුදලාලි මේ පොඩි මිදිනෙ තියෙන්නේ ලොකු ඒවා නැද්ද?" කියලා අහනකොට මුදලාලිගෙ උත්තරේ මෙහෙමයි....

"අයියෝ මල්ලි ලොකු මිදි වර්ග මම දැන් කඩේට ගේන්නේ නෑනේ... මොකද ඔය පොඩි ළමයි ආසා නෑනේ ලොකු මිදි කන්න..... එයාලා ආස එයාලගේ අතට අහුවෙන සයිස් එකට තියන මේ චූටි මිදි ගෙඩි එකින් එක අරන් කන්නනේ....... ඔයත් පුතාට නේද ගෙනියන්නේ???? මේක අරන් ගිහින් දීලා බලන්නකෝ... හරි ආස වෙයි......"

ඉතින් අපේ පොරත් ඒ අවවාදය පිළිඅරන් Grapes අරන් ගියාලු. අපරාදෙ කියන්න බෑ පොඩි එකත් ඇත්තටම ඒවට කැමති වුනාලු. 

ඒ නිසා පහුවදාත් තිලකෙ මාමා කඩේට එනවලු අර පොඩි Grapes අරන් යන්න...... ඒත් එදා කඩේ තියෙන්නේ දාර සයිස් Grapes වර්ගයක්ලු... කොටින්ම ඒ ගෙඩියකින් ගහලා මිනිහෙක් මරන්නත් පුළුවන්ලු...

තිලකෙ මාමා "මුදලාලි කෝ අර පොඩි මිදි නැද්ද?" කියලා අහනකොට මුදලාලි කියනවලු.... 

"අයියෝ මල්ලි පොඩි මිදි වර්ග මම දැන් කඩේට ගේන්නේ නෑනේ... මොකද ඔය පොඩි ළමයි ආසා නෑනේ පොඩි මිදි කන්න..... එයාලා ආස එයාලගේ අතට අහුවෙන්නේ නැති සයිස් එකට තියන මේ ලොකු මිදි ගෙඩි අත් දෙකෙන්ම අල්ලන් හෙමින් හෙමින් කන්නනේ....... ඔයත් පුතාට නේද ගෙනියන්නේ???? මේක අරන් ගිහින් දීලා බලන්නකෝ... හරි ආස වෙයි......"


හැබැයි ඊට පස්සේ අපේ තිලකෙ මාමා මුදලාලිට විනාඩි 20ක විතර පොඩි Lecture එකක් දීලා තියනවා මාකටින් ගැන. 

ඒ Lecture එක පොර මට ඇහෙන්න ආයෙත් කීවා. ඒත් ඒකේ අසභ්‍ය වචන තියෙයි කියලා මට හිතුන නිසා මම ඒ කොටස පාලන මණ්ඩලේට යොමුකරා. 

ඒ අනුව, පහතින් දැක්වෙන්නේ ඒ පාලන මණ්ඩලය විසින් අසභ්‍ය වචන ඉවත්කර සංස්කරණය කරන ලද තිලකෙ මාමා ගේ මාකටින් Lecture එක බව කරුණාවෙන් සලකන්න......

"අනේ මුදලාලි උඹේ අ*** ****** * ** * ****** *  ******** ***** ***** ***** **** **  ***** **** **** *** ** ** ** ** **** ******** ** ** ** ** ***** ***** * * * **** **** ***** *** ** * **** * ** * * * * * *  * * ****** ***** **** **  ***** **** **** *** ** ** ** ** **** ******** ** ** ** ** ***** ***** * * * **** **** ***** *** ** * **** * ** * * * * * *  * * ****** ***** **** **  ***** **** **** *** ** ** ** ** **** ******** ** ** ** ** ***** ***** * * * **** **** ***** *** ** * **** * ** * * * * * *  * * ****** ***** **** **  ***** **** **** *** ** ** ** ** **** ******** ** ** ** ** ***** ***** * * * **** **** ***** *** ** * **** * ** * * * * * *  * * ****** ***** **** **  ***** **** **** *** ** ** ** ** **** ******** ** ** ** ** ***** ***** * * * **** **** ***** *** ** * **** * ** * * * * * *  * * *"