Thursday, October 20, 2011

මව්බස

මේ දවස්වල අපේ පොඩි කොල්ලෝ කස්ටිය මව්බස දුර්වල හින්දා Office එකේම කෙනෙක්ගෙන් සතියට පැය 2-3ක් ටියුෂන් ගන්නවා. ඔය මව්බස මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ...... අර රැජිනගේ භාෂාව කියන්නේ...... 


අපේ අර්ථ දැක්වීම අනුව නම්  "යමෙක් යම් භාෂාවකින් කතා කරනවිට අපිට ඔහුගේ මව මතක්වේද....... ඒ මව්බසයි" කියලා තමයි කියන්නේ. එහෙම බලනකොට ඔය අම්මලා තාත්තලා සුද්දෝ වුන අයට ඇර අනිත් හැමෝගෙම මව්බස තමයි මේක.


ඔය මව්බසේ ප්‍රශ්ණ නිසා අපේ අයගෙන් වැඩියෙන්ම දුක්වින්දේ ඩොකා අයියයි, නර්ස් මල්ලියි තමයි... කොහොමටත් උන් දෙන්න මව්බසෙන් නෙමේ සිංහලෙන් කරත් කරන්නේ මොලේ උළුක්වෙන වැඩ තමයි..... අපේ එවුන් දෙන්නට දීල තියෙන්නෙත් ධාර්මික නම් දෙකක් "තපස්සු - භල්ලුක" කියලා......


එක සැරයක් මගේ Wedding Anniversary එක දවසක උදේ අපේ ඔක්කොම ඇවිදින් මට Wish කරනවා..... දැන් හැම එකාම Happy Anniversary......! කිය කියා අතට අත දෙනකොට කොහෙද ඉඳන් දුවගෙන ආපු නර්ස් මල්ලි, "ආනේ.... අයියේ අද ‍ඔයාගේ උපන්දිනේද????" කියලා අහලා අතට අත දුන්නා...........


ආයෙ දවසක ඩොකා කොහෙදෝ යන්න පාරක් අහගන්නවා. පාර කියල දෙන එකත් පාර කියලා දීලා "මචං මේක මේ Walking Distance නේ..." කීවා..... ඒක අහලා ඩොකා කියනවා "ආ... ඇත්තද මචං, මම හිතුවේ පයින් යන්න පුළුවන් කියලා.... එහෙනම් මං ත්‍රීවීල් එකකවත් යන්නම්......" කියලා.....


තවත් දවසක් රෑ වෙනකන් වැඩ කරපු ඩොකා අපෙන් අහනවා "මචං වෙලාව කීයද???" කියලා..... එකෙක් උත්තර දුන්නා "මචං Seven Thirty" කියලා.... ඒ කීව විතරයි කලබල වෙලා නැගිට්ට ඩොකා, "මලා.....! අටත් පහුවෙලා නේ...... අද නම් මට බස්එක අල්ලගන්න බැරිවෙනවා...." කියලා දුවලා ගියා......


මව්බස නිසා ඇඟ රිදෙන්නම කර‍දරේ වැටුනේ අපේ රංගයාගේ ගමේ පොරක්...... ඒ පැත්ත මුදවපු කිරි වලට එහෙම ප්‍රසිද්ධයි.


රංගගේ ගම පැත්තේ ඇවිදින්න ‍ආපු සුද්දෙක් එහේ කඩයකටත් ගොඩඋනාලු...... පොර මුදවපු කිරි හට්ටියක් එහෙමත් අරගෙන පැත්තකින් තියලා තවත් මොනවා හරි දෙයක් ගන්න එතනින් එහාට ගියාලු.... 


ඒ අතරේ මෙතෙන්ට ආපු කොහෙද යන කපුටෙක් ඔය කිරි හට්ටිය දැකලා ඒකට හොට ගහලා කෑවලු..... මේ අතරෙ ආපහු ආපු සුද්දා කිරි හට්ටිය කවුද කාල තියනව දැකල මල පැනල ඉන්නවලු......


දැන් මෙතනදි තමයි අපේ පොර වීරයා සේ එලියට එන්නේ..... මොකද මිනිහ විතරයි දැකල තියෙන්නේ කිරි හට්ටියට වුන දේ..... මිනිහ සුද්ද ලඟට ඇවිත් හිනාවෙලා කීවලු "සර්.... කිරි හට්ටිය කපුටා කෑව කියලා...." 


කරුමෙ කියන්නේ සුද්දට සිංහල මෙලෝ දෙයක් තේරෙන්නේ නෑලු.... ඒ මදිවට මිනිහ තේරුම් අරන් තියෙන්නෙත් මේ කතා කරන පොර තමයි කිරි හට්ටිය කෑවේ කියලලු...... 


දැන් සුද්ද අරූට පෙරලගෙන ගහනවලු කිරි හට්ටිය කෑව කියල..... මව්බස නිසා වැඩේ වැරදුන බව තේරුම්ගත්ත අපේ පොර ගුටිකන ගමන් මෙහෙම කියලා කෑගහනවලු.....


"අනේ...... ඉංග්‍රීසි දන්න කෙනෙක් කියාපල්ලකෝ............ කිරි හට්ටිය කෑවෙ මම නෙමේ කපුටා කියලා............."





Disclaimer

මෙය ඉංග්‍රීසි නොදන්නාකමට අපහාස කිරීමේ අරමුණින් ලියූවක් නොව විනෝදස්වාදය ලබාදීමේ අරමුණින් පමණක් ලියූවක් බව කරුණාවෙන් සලකන්න.



ප.ලි. Disclaimer

මේ සිංහලත් අමාරුවෙන් ගැටගහගෙන ලියන අපිටත් ඉංග්‍රීසි පුළුවන් උනානම්, අපිත් ඉංග්‍රීසි බ්ලොග් ලියනවනේ..... නැතිනම් අපි ලියයි සිංහල බ්ලොග්.........

No comments:

Post a Comment