Monday, September 19, 2011

කතා තුනක්.....

දවස් තුනහතරකට පස්සේ බ්ලොග් කියවන්න ලැබුනේ..... උදේ වරුවම ඒකට ගියා. කාලෙකින් අහපු සිරා කතාවක් තිබ්බා පලාමල්ලේ, අර ප්‍රේමයේ ඵල නෙලන එක........ කස්ටිය තාම හිනාවෙනවා ඒක බලලා.... ඒ අස්සේ කතාව බලපු අපේ බිංදු මල්ලි කියනවා "අයියේ මම එහෙම ඔතන හිටියනම් කිකිලියෝ එකා දෙන්න නෙමේ දහය පහලව මැරෙන්නේ" කියලා.

අනේ මන්දා..... අපේ බිංදු මල්ලි තමන්ගේ හැකියාව ගැන අධිතක්සේරුවක ඉන්නවද..... එහෙමත් නැතිනම් අපි පොරගේ හැකියාව අවතක්සේරු කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ... 

කොහොම හරි ඒ කතාවයි ඒක එක්ක තිබුන වීඩියෝ එකයි දැක්කහම තවත් ඒ වගේ වීඩියෝ දෙකක් ගැන මතක්උනා.

අපි මුලින්ම අර පලාමල‍්ලේ කියපු වීඩියෝ එක බලල ඉඳිමු;



මෙන්න එහෙනම් දෙවනි එක, මම දන්න තරමින් මේක තිබිලා තියෙන Quiz 2010 කරේ Nations Trust Bank එක හෝ Commercial Bank එක




ඔන්න මේ අන්තිම එක, 31වෙනි යොවුන් නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිලිය සම්මානයත් මේකට ලැබුනා. මට මතක විදියට මේ නාට්‍යට තවත් සම්මාන ලැබුනා.





ප.ලි.

අන්තිම මොහොතේ ලැබුන ෆොටෝ එකක් මෙන්න;





Wednesday, September 14, 2011

ඇඳුම් සහ අපි.... 2

ඇඳුම් ගැන ඉතිරි කතාව හෙට කියනවා කීවට හෙට වෙන්න ගොඩක් වෙලාව ගියා නේ...... ගනන් ගන්න එපා මේ පැත්තේ ඕවා සාමාන්‍ය දේවල්. මේ තව හොඳයි..... එක සැරයක් අපේ යාළුවෙකුට හෙට වෙන්න මාස එකහමාරක් විතර ගියා. කොහොම හරි මුල කොටස බැලුවේ නැතිනම් මෙතනින් බලන්න


ඔන්න එහෙනම් ඇදුම් ගැන කතාවේ ඉතිරි කොටස මෙහෙමයි......... මේක උනේ අපේ සුප්‍රසිද්ද පොඩි මල්ලිටයි, චූටි මල්ලිටයි.....


අපේ ඔය චූටි මල්ලි ඉන්නවා නේද, පොරට මොනවා හරි ගන්න හිතුනොත් අඩුම ගානේ කඩ 25ක 30ක විතර හොයලා බලලා මිලගනන් සංසංදනය කරලා එහෙම තමයි ගන්නේ.... මමත් එක සැරයක් චූටි මල්ලිත් එක්ක ඔර්ලෝසුවක් අරගන්න ගිහින් කිලෝමීටර් ගානක් පයින් ඇවිද්දා....


කොහොම හරි මේසැරේ පොරට ගන්න ඕනෙඋනේ ටීෂර්ට් එකක්... ඕකටම සෙට්උනා පොඩි මල්ලිත්. දෙන්නා ඔන්න 'මිෂන් ටීෂර්ට්' එක පටන්ගත්තා කොල්ලුපිටියෙන්.....  ටික වෙලාවක් යනකොට දෙන්නා  බම්බලපිටියේ ....


දැන් දෙන්නා ඉන්නේ බම්බලපිටියේ සුපිරිම ඇඳුම් වෙළඳසැලක. එතන තියනවා චූටි මල්ලිගේ හිතගිය ටයිප් එකක ටීෂර්ට් එකක්... අර වර්ගයක් තියෙන්නේ "රෆ්" කියලා.... අන්න ඒකක්. ඒත් ගාන අහපුවම අපේ මල්ලිලා දෙන්නා සීතල වෙලා ගියාලු. වෙන මොකටවත් නෙමේ, ගාන අහන තැන AC වැඩි හින්දලු...... නැතිව ටීෂර්ට් එකක මිල 3500/= කීවට අපේ මල්ලිලා බයවෙනව කියලයැ.


ඒ පාර ඒ කඩෙන් එලියට ආපු මල්ලිලා දෙන්නා ගියා ඒ කිට්ටුවම තියන සාධාරණ මිලකට ඇදුම් විකුණන කඩයකට.

- කඩේ කියනකොට තවත් කතාවක් මතක් උනා.... අපේ ලොක්කයියා ගේ ගෑනිත් දැම්මනේ ඇඳුම් කඩයක්. (ලොක්කයියා කියන්නෙත් අමර පොරක්... මිනිහගේ ජීවිත කතා පස්සේ දවසක කියන්නම්) දවසක් මම ඒ ගැන කියනකොට කීවා  "xxxx අක්කගේ ගේ කඩේ" කියලා.... එතකොට පොර මට කියනවා "මල්ලි එහෙම නෙමේ.... ඒකට කියන්නේ Shopඑක කියලා, අපේ ගෑනි තමයි කඩේ" කියලා.... 

- හරි දැන් ඇඩ් එක ඉවරයි නැවතත් කතාවේ ඉතිරි කොටස.

දැන් මල්ලිලා දෙන්නා අර සාධාරණ Shopඑකේ ඇඳුම් තෝරනවා... මේ අතරෙදි අපේ මල්ලිලා දකිනවා අර කලින් හිතගිය වර්ගයේ ටීෂර්ට් එකක්. එකපාරක් පාඩමක් ඉගනගෙන ඉන්න ඩබල කෝකටත් හිමින්සැරේ ඒකේ මිල ගැන හොයලා බැලුවා. අදහන්නත් බැරි විදියට අඩු මිලක් තමයි තිබුනේ. ඒපාර Shopඑකේ වැඩකරන කොල්ලකුටත් කතා කරලා ආයෙ පාරක් හරියටම දැනගන්න කියලා මිල ඇහුවා.... ඒත් වෙනසක් නෑ.... එකම මිල තමයි.

දැන් අපේ ඩබලට මිල අඩුඑක ගැනත් සැකයි. අන්තිමේ හොඳටම ෂුවර් කරගන්න කියලා  චූටි මල්ලි ඇහුවලු "මල්ලි මේක Rough නේද?" කියලා.... එතකොට කඩේ කොල්ලා කියනවලු "ඔව් සර්..... ඒ උනාට සර් බයනැතිව අරන් යන්න... මේක දෙපාර හෝදනකොට Soft වෙනවා......." කියලා

ටීෂර්ට් ගැනිල්ල අතඇරලම දැම්ම අපේ මල්ලිලා දෙන්නා, දන්න කියන ෂර්ට් එකක් අරන් (අර මහත්මයා අඳින ජාතියෙ) ගෙදර ගියාලු........

Monday, September 12, 2011

ඇඳුම් සහ අපි....

මම මේ බ්ලොග් එක පටන් ගන්නකොටම කීවනේ සභ්‍ය දේවල් හෝ සභ්‍ය විදියට ලියන්න පුළුවන් දේවල් විතරයි ලියන්නේ කියලා. ඒ නිසා මට අද ඇහුන කතා එකක්වත් මෙලෝ විදියකින් මේකේ ලියන්න බෑ. අද දවසම මම කලේ ඒවා ලියන්න විදියක් කල්පනා කරපු එකයි. අන්තිමට වැඩේ නතර කලේ මට ඔලුවේ කැක්කුමක් හැදුනට පස්සේ. ඒ නිසා අපි ඒ ගැන අමතක කරලා වෙන දෙයක් කතා කරමු.


ඔලුවේ කැක්කුමට ගහපු පෙත්තට මොලේ විකාර වෙලා ඉන්නකොට මෙහෙම දෙයක් කල්පනාඋනා. අපි ගොඩක් වෙලාවට ඇදුම් ගැන කතා කරොත් අනිත් පැත්තේ ඉන්නේ කෙල්ලෙක්නේ, එහෙම නැතිව කොල්ලෝ සහ ඇදුම් ගැන ලියන්න තියෙන්නේ මොනවද?........


අපි NIBM යන දවස්වලනම් මුල්ම දවසේ ඇඳගෙන එන ඇඳුමට ටයි එක විතරයි අඩු. කොල්ලෝ ඒ තරම්ම පිළිවෙලයි. මුල දවසේදී Director ත් අවවාද කෝටියක් විතර දෙනවා... හැමදාම මේ වගේ පිළිවෙලට ඇඳගෙන එන්න...., ඩෙනිම්/ටීෂර්ට් එහෙම අඳින්න එපා....., මේක වැදගත් ආයතනයක්....., බ්ලා... බ්ලා... කියලා. ඒත් එදාට විතරයි. සතියක් ගියහම කොල්ලො සට් එකන් අහඹු ලෙස තෝරාගත් කොල්ලක් ගේ ඇඳුම් මෙහෙමයි; 


ඩෙනිම/ටීෂර්ට්එක/සෙරෙප්පු දෙක.


මෙහෙම කියනනොට තවත් කතා දෙකක් මතක්උනා


මුල් කතාව සිද්ධඋනේ මීට අවුරුදු කීපයකට කලින්. කතා නායකයා Project Manager කෙනෙක්. හොඳ දක්‍ෂ පුද්ගලයෙක්..... මමත් එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... කවුරුත් ආදරේට කීවේ "ආනා" කියලා... ආයතනයේ Boss ලංකාවේ සුප්‍රසිද්ධ ඇදුරුතුමෙක්.


මේ කතාවට අදාල ආයතනයේ සිකුරාදා Dress Down Day...... ඒත් Boss දැඩි ඩෙනිම්/ටීෂර්ට් විරුද්ධවාදියෙක් නිසා Dress Down එකත් පිළිවෙලකට තමයි කරන්න ඕනේ... 


ඔන්න දවසක් ආනා එනවා බ්‍රහස්පතින්දා දවසක ‍‍ඩෙනිමක්/ටීෂර්ට් එකක් එහෙම ඇඳගෙන.... මම හිතන්නේ පොරට උදේ පාන්දරම දවස පැටලිලා.... මගදි තමයි මතක්වෙලා තියෙන්නේ අද ඔෆිස් දවසක් කියලා. එත් ඉතින් පොරත් කරන්න දෙයක් නැතිකමට එහෙම්ම ඇවිත්. 


උගේ කරුමෙටද අපේ කරුමෙටද මන්දා Boss ඕක දැකලා... ටිකකින් අපිට පේනවා මිනිහා ආනා ඉන්න තැනට එනවා.... අපිත් බලාගෙන ඉන්නවා දැන් බනියි... දැන් බනියි... කියලා. මොන... ආනාගෙන් ප්‍රශ්ණයක් අහපු Boss අනිත් විනාඩියෙදී හැරිලා ගිහින් එයාගෙ කාමරේ දොරත් වහගත්තා..... නිකන් නයාට භූමිතෙල් ගැහුවා වගේ.  




අපිට දැන් මාර ප්‍රශ්ණයක් මෙච්චර වැරදි තියාගෙනත් ආනා Bossගෙන් වචනයක්වත් අහගන්නේ නැතිව ආපහු හරවලා යැව්වේ කොහොමද කියලා...... පොර කියපු විදියට බොහොම සුලු දෙයයි එතන වෙලා තියෙන්නේ........ Boss  ප්‍රශ්ණයක් අහලා, ආනා ඒකට උත්තරයක් දීලා..... (මේ සංවාදය සිංහලට හරවලා දැම්මොත් ඒකේ රසය නැතිවෙන නිසා මම ඉංග්‍රීසියෙන් දාන්නම්) මෙන්න මෙහෙම;


Boss : Ana..... is this Friday????


Ana : No Sir, This is Dress Down Thursday......


කොහොම හරි ඊලඟ සතියේ ඉඳන් ආයතනයේ Dress Down Day අහෝසියි.......................


----------------------------------------
අනේ අම්මේ තව කතාවක් තිබ්බත් මට දැන් ඒක ලියාගන්න බැරිතරම් නිදිමතයි.... ඒ නිසා ඉතිරි කොටස හෙට හො‍ඳේ.......

Friday, September 9, 2011

පොලිස් කථා

ඊයෙ හවස ඇහුනා ඉරාජ්ගේ "ලංකාවේ පොලිසිය" සින්දුව. ඒක අහනකොට මට මේ කතාව මතක් වුනා. මම මීට ටික කාලෙකට කලින් අන්තිම පේලිය බ්ලොග් එකට ලියපු කතාවක්. අද පෝස්ට් එකක් ලියන්න වැඩි ‍කාලයක් නැති නිසා (අද මම පට්ට Bussy ය) ඒ කතාව දාන්නම්.


මේ කතාවේ හොඳම සීන් එක තමයි....... ‍මම මේක පබ්ලිෂ් කරල ටික දවසකින් ඊ-මේල් එකක් විදියටත් කවුරුහරි ඒක කොපි කරලා වටේ යැව්වා. අත්තිමට අපේ සිතා ඒක මටම එවනවා මැක්සා කථාවක් තියනවා බලපන් කියලා. අනේ කාට කියන්නද මේ දුක....... ඔබ හැර...........


හරි වල්පල් ඉවරයි මෙන්න කථාව;




දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ ප්‍රදේශයේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ ඒකට)

                                                                                        
දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු..... ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක්  කව්සිළුමිණ ලියුවේ කවුද ?

(පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ)

දැන් මේ පොර ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු......  පොලිස් අධිකාරිවරයත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ කියලා......

මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න අවශ්‍ය උනාලු..... පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා කීවලු මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා කියලා.....

දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවලු... එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි........

අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා...... රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා.......

අපිට වගේම මේ දර්ශණය ලොක්කටත් ප්‍රශ්ණයක් නිසා ඇහුවා මොකද අයිසේ  මේ වෙලා තියෙන්නේ ? කියලා..... එතකොට අර රාළහාමි උත්තර දෙනවා......

සර්.... සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ...... මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා...........


මගේ කතාව අවසානයි....... අසා සිටි ඔබ සැමට ස්තූතියි.......

ප.ලි.
         1. තවත් අන්තිම පේලියේ ලියපු කතා වගයක් තියනවා ඒවත් ‍මේ වගේ ඉඳහිට දාන්නම්. 


         2‍. ඉරාජ්ගේ සින්දුව අහල නැතිනම් මෙන්න ඒකත් අහන්න



Thursday, September 8, 2011

මරණ දඬුවම හා පෑන

අනේ අම්මේ මෙහේ ඇහෙන කතා ඔක්කොම ලියන්න ගියොත් නම් බ්ලොග් එකක් නෙමේ ජාතික පත්තරයක්වත් පටන්ගන්න වෙනවා. කොහොම හරි ඔන්න මේ ඊයෙ පෙරේදා හිට්වුන කතාවක්.


අපේ කට්ටියට කතා කරන්න මාතෘකා නැතිව වගේ ඇදලා ගත්තා මරණ දඞුවම ගැන කතා කරන්න. ඇත්තටම ඒ දවස් වල තමයි අර අඟුලානේ කේස් එකට සම්බන්ධ අයට මරණ දඞුවම දුන්නේ. දැන් කතාව ලෙසටම නැගල යනවා. මුන් මරණ දඞුවම ලැබිලා experience තියනවා වගේ එතන සිද්ධවෙන දේවල් මවල පෙන්නනවා. එතන හිරකූඩු හතක් තියනවලු..... එල්ලන කොකු තුනක් තියනවලු..... ඔයවගේ කතා කෝටියයි.


මේ අතරේ අපේ පියා කියනවා උසාවියේදී නඩුකාරයා (සොරි... තුමා) මරණ දඞුවම ප්‍රකාශයට පත්කරන හැටි. උසාවියේ ලයිට්, ෆෑන් Off කරලා... දඞුවම කියලා (හුස්ම හිරවන තෙක් ගෙල සිරකිරීම).... ඒ නියෝගය රතු පෑනකින් ලියලා.... පෑන කඩනවලු...... ඔන්න දැන් මේක අහපු ගමන් අපේ පොඩි මල්ලිගේ ටිකිරි මොලේට ආවා එළකිරි අයිඩියා එකක්. වෙන මොනවත් නෙමේ අලුත් පෑන් වර්ගයකට ගැලපෙන TV ඇඩ් එකක්. මෙන්න දැන් ඒ ඇඩ් එක....




ස්ථානය : උසාවිය


ද‍ර්ශන අංක 1


නඩුකාරතුමා විත්තිකරුට මරණ දඞුවම ප්‍රකාශයට පත්කරයි. ඉන්පසු චාරිත්‍රයට අනුව පෑන කැඩීමට සැරසෙයි.....


ද‍ර්ශන අංක 2


දඞුවම ප්‍රකාශයට පත්කර මද වෙලාවක් ඉක්ම ගොස් ඇති නමුත් තවමත් නඩුකාරතුමාට පෑන කඩා දැමීමට හැකි වී නැත. ඔහු දත්මිටිකාගෙන එම පෑන කඩා දැමීමට උත්සාහ කරයි. අවසානයේ කේන්තියන නඩුකාරතුමා පෑන පොලවේගසා නඩුකාර ආසනයෙන් නැගිට යයි.....


ද‍ර්ශන අංක 3


නඩුකාරතුමා උසාවි කාර්ය මණ්ඩලයට  බැනවදියි. 
"මොකටද මේ උසාවියේ වැඩ වලට xxxxx පෑන් ගෙනාවේ?..... එවා හදිස්සියකට කඩන්නවත් බැරි තරම් හයියයි කියලා තමුන්ලා දන්නේ නැතිද...... අඩුමගානේ ‍මේ වගේ දවස් වලටවත් අර කඩවල් වල ඕනෙ තරම් තියන බාල පෑන් වර්ගයක් ගෙනත් තියන්න පුරුදු වෙනවලා......."


ද‍ර්ශන අංක 4


චාරිත්‍රයට බාදා වූ නිසා විත්තිකරු මරණ දඞුවමෙන් නිදහස්ව ඇත. ඔහු  xxxxx පෑනකට වැඳගෙන මෙසේ කියයි "අනේ...... මේ xxxxx පෑන් දෙයියා තමයි මගේ ජීවිතේ බේරුවේ"




කතාව ඉවරයි................. 


මේ ස්ක්‍රිප්ට් එකේ සියලුම බුද්ධිමය දේපල අයිතිවාසිකම් අපේ පොඩි මල්ලි සතු අතර (මොකද මට ඒතරම් බුද්ධියකුත් නෑ දේපලකුත් නෑ)..... සියලුම උපුටාගැනීම් සඳහා ඔහුගේ අවසරය අවශ්‍ය නොවේ....... එහෙත් කරුණාකර වාසියක් නම් පමණක් අපිව අමතන්න......

Wednesday, September 7, 2011

කෑම.... කෑම... සහ තවත් කෑම

බ්ලොග් පටන්ගත්තා වගේ නෙමෙයි ලියන්න වෙලාව හොයාගන්න එක තමයි හරිම අමාරු. එහෙනම්  කොහොම හරි මෙන්න පළවෙනි කතාව.


අර කතාවක් තියනවනේ "මිනිසා ජීවත් වන්නේ කෑම සඳහාය" කියලා ඒ නිසා මෙන්න පළවෙනි කතා සෙට් එක කෑම ගැන. කතානායකයා අපේ රංජි අයියා..


ඔන්න දවසක් රංජි අයියා තවත් යාළුවෙක් එක්ක පිත්තල බඩු වගයක් හොයන්න ගියා පිළිමතලාව පැත්තට. මොකද ආරංචියේ හැටියට ඒ පැත්තේ තමයි අඩුවට පිත්තල බඩු හොයාගන්න තියෙන්නේ. දැන් මුන් දෙන්නා උදේම ගිහින් හැමතැනම ඇවිදිනවලු. දවල් 2-3 විතර වෙද්දි දෙන්නට පොඩි බඩගින්නක් ඇවිත් බලනකොට තමයි මතක් වෙලා තියෙන්නේ උදේටයි දවල්ටයි දෙකටම කෑවෙ නෑ කියලා.  


දැන් දෙන්න පිස්සු හැදිලා වගේ කෑම කන්න හෝටලයක් හොයනවා. ඒ පැත්ත ප්‍රසිද්ධ පිත්තල බඩු වලට මිසක් කෑමට නෙමෙයිනේ... ඉතින් බලන බලන අත පිත්තල කඩ විතරයි අඩුම ගානේ වඩේ එකක්වත් කන්න කඩයක් නෑ. ඩබල අර තිබුන පිත්තල පහනක් කඩාගෙ කාලා වතුර බොන මට්ටමට කිට්ටු වෙද්දිම වගේ මෙන්න ඈතින් පේනවා පොඩි කඩයක්.... දෙන්නා නිවන් දැක්කා වගේ දිව්වා ඒ දිහාවට.


කරුමේ කියන්නේ කඩේ බත් ඉවරලු. අපේ ඩබල මැරෙන්න ඔන්න මෙන්න.... මුන් දෙන්නගේ හැටි දැකපු කඩේ වේටර් ඇහුවලු "මහත්තයා මාලු කරියි පානුයි නම් තියනවා ගේන්නද?" කියලා. ඒ වෙලාවේ කළුගල් උනත් ගිලින මානසිකත්වයක හිටිය අපේ අයියලා හා කීවලු. දැන් වේටර් මාලු කරියි පානුයි ගේනවා... මුන් කනවා... මෙහෙම යනකොට ටිකකින්;


වේටර් : මහත්තයා මාලු කරි නම් ඉවරයි...
රංජි : වෙන මොනවත් කරි නැත්ද?
වේටර් : පරිප්පු නම් තියනවා මහත්තයා..
රංජි : එහෙනම් පරිප්පු ගේන්න..


ආයෙත් දැන් පරණ කතාවමයි, වේටර් පරිප්පුයි පානුයි ගේනවලු මුන් කනවලු. ඔහොම යනකොට තවත් ටිකකින් වේටර් එනවලු පාන් බාගෙකුත් අරගෙන;



වේටර් : මහත්තයා තවත්නම් පාන් ඉල්ලන්න එපා මේ කඩේ තිබුන අන්තිම පාන් බාගේ...
රංජි : ඈ.... එතකොට අපි කොච්චර පාන් කෑවද?
වේටර් : මේ බාගෙත් කෑවොත් පාන් රාත්තල් හතරහමාරයි මහත්තයා....
රංජි : ................................!


අපේ අයියලා දෙන්නා තවත් ඒ ගැන කතා කලේ නෑලු. කෑම අපතේ යවන එක පව් වැඩක් කියලා පොඩි කාලේ අම්මා තාත්තා උගන්නලා තියන නිසා අන්තිම පාන් බාගෙත් කාලම බිල ගෙවල ගියාලු. මේ දෙන්නගෙ හොඳ සිරිත් ගැන ගොඩක්ම පැහැදුනු කඩේ මුදලාලිත් විශේෂ සැලකීමක් විදියට අන්තිම පාන් බාගෙට සල්ලි ගත්තෙත් නෑලු. 


ඔන්න ඔහොමයි සිද්ධ වුනේ.... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ අයියලා දෙන්නා ඊට පස්සේ කවදාවත් ඒ කඩේට වැරදිලාවත් යන්නේ නෑ කියලා හිතා ගත්තු එකලු. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි එදා අපේ අයියලා දෙන්නාට හරියට සලකන්න බැරිවුනා කියලා මතක්වෙලා කඩේ මුදලාලිට දුක හිතෙයි කියලලු.


මේ කතාව අපේ රංජි අයියගේ පළමු හා අවසාන කතාව නෙමෙයි. මමත් දවසක් හවස රංජිත් එක්ක හෝටලේකට ගියා මටත් වැඩිය කන්න බෑනේ... මෙන්න එදා කාපු කෑම ලිස්ට් එක


බිත්තර රොටී - 8
ප්ලේන් රොටී - 15
400ML කිරි බෝතල් - 2


ගෙදර ගිහින් රෑට කන්නත් ඔනෙ නිසා එදා වැඩිය කෑවෙ නෑ......


හොඳම සීන් එක තමයි මම ඊට දවස් දෙකකට විතර පස්සේ ඒ හෝටලේටම ගියා. මෙන්න බොලේ අර එදා අපිට කෑම ගෙනාපු වේටර් හිනාවීගෙන ඇවිත් අහනවා


"ආ... සර් කොහොමද?...... කෝ අද යාළුවා නැද්ද? "................... 


මම දැන් ඒ හෝටලේ ලඟින් යන්නේ හැංගිලා....

Tuesday, September 6, 2011

ඔන්න එහෙනම් මමත් ආවා......

එදා ඉදන්ම සිංහල බ්ලොග් කියව කියව හිටියට මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්න හිතේ තිබුනේ නෑ. එත් අපේ පොඩී මල්ලි මාස ගානක ඉදන් කියන නිසා බැරිම තැන මේක පටන් ගත්තා.


මේ  බ්ලොග් එකේ නම මගේ ඔලුවට ආවේ අද උදේ...... අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ වල බහිනවා කියලා යනවානේ.. එහෙම නිතරම වල බහින්න ගිහින් පුරුදුඋන තැන පොදුවේ "වල" වෙනවා. ඔය වලේදී තමයි හැමදේම කියන්නේ කරන්නේ. අපි ඉස්කෝලෙ කාලෙන් පස්සේ ආයෙත් රස්සාවකට ගියහම නොදැනීම Office වලකට සෙට් වෙනවා..... ඒ වලේ කතා එලියට දාන්නෙ මේ බ්ලොග් එකෙන්. 


අපේ වලට විශේෂත්වයක් ඕනෙ නිසා මේක "The වල" උනා (අර The Internet වගේ ලෝකෙටම එකයි).  වලේ කතන්දර වලට සීමා නෑ අධ්‍යාපනය, විනෝදය, මඩ, xxx ආදී එකී මෙකී නොකී සියලුම දේවල් කතා වෙනවා හැබැයි ‍මම පුලුවන් තරම් සභ්‍ය විදියට ඒවා පෝස්ට් කරන්න උත්සහ කරන්නම්. බැරිනම් ඉතින් නොදා ඉන්නම්.


දැනට මේ ඇති. වල ගැන යථා කාලයේදී ඒකේ පෝස්ට් වලින්ම හිතාගන්නකෝ. අනිත් එක මේ වලේ එන චරිත අයියා,මල්ලි, etc. කියලා නෑදෑකමින් හැඳින්නුවට මුන් ඔක්කොම අපේ Office මිත්‍රයෝ. ඒ වගේම නම් ගම් මනඃකල්පිතයි හොඳේ...... නැතිනම් මුන් ටික එකතුවෙලා මාව වල පල්ලටම යවයි.