Thursday, November 17, 2011

ලොක්කයියා ගේ ළමා කාලය 2.....

එදා පෝස්ට් එක දිග වැඩිඋන හින්දා ලොක්කයියාගේ ළමා කාලයේ ඉතිරි කොටස මම මේ පෝස්ට් එකෙන් දානවා‍. මුල් පෝස්ට් එක බලන්න මෙතනින් පුළුවන්. 

මේ කතාව සිද්ධවෙන කාලෙ ලොක්කයියා පොඩියි. බයික් ගැන හිතලවත් නෑ. හරියටම කීවොත් "භූමිතෙල්" කියන ගෞරවනාමය ලැබෙන්න අවුරුදු 5-6කට කලින්.....

මේ කාලේ ලොක්කයියගේ ප්‍රියතම දේ තමයි වගාකිරීම. ඉස්කෝලෙත් කෘෂිකර්ම විෂයට වහවැටිලා හිටියේ. 

ඉතින් කවුරු කවුරුත් මේක දකින්නේ හොඳ දෙයක් විදියට උනත් "ලොක්කයියා අතගහපු ඕනෙම හොඳ වැඩක් උනත් නතරවෙන්නේ අන්තිම කුජීත විදියටය" කියන නියමය උඩ මේ වගාකිරිල්ලෙන් අන්තිමට කෙලවෙන්න ගියේ ලොක්කයියගේ තාත්තට

කෘෂිකර්මයට වහ වැටිලා හිටපු ලොක්කයියා තමන් සුළුවෙන් පවත්වාගෙන ගිය වගාව තවත් දියුණු කරන්න හිතුවා. එහෙම හිතලා තාත්තා ලඟට ගිහින් මෙහෙම කීවා.....

"තාත්තේ මට ලොකුවට වගාකරන්න ඕනේ..... ඒ නිසා තාත්තගේ ඉඩම් ටික ඔක්කොම මගේ නමට ලියලා දෙන්න..."

දැන් කාලේ තාත්තලාට එහෙම පොඩිඑකෙක් මේ වගේ කතාවක් කීවොත් ඌට කණ පැලෙන්න කන්න වෙනවා. ඒ උනත් අපේ ලොක්කයියගේ තාත්තා හෙවත් පොඩි මහත්තයා හොඳට ඉවසීම ප්‍රගුණ කරපු ඒ වගේම කිසි දේකින් නොසැලෙන පොරක් නිසා... ටිකක් කල්පනා කරලා මෙහෙම කීවා.

"උඹ ඉස්සල්ලාම මට රුපියල් ලක්‍ෂයක් එකතු කරලා පෙන්නපන්.... ඊට පස්සේ මම ඉඩම් ලියලා දෙන්නම්" 

කොහොමද පොරගේ ටිකිරි මොළේ..... හැබැයි ඉතින් එතනින් තමයි මේ හැමදේම පටන්ගත්තේ.....

අභියෝගය භාරගත්තු ලොක්කයියා මුලින්ම කල්පනා කරා ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්.... කොහොම හරි පොඩි මහත්තයාගේ කරුමෙට අපේ පොරගේ පොඩි මොලේට ආව අයිඩියා එක තමයි.....

"කුකුල් පාලනය"


ඒ කාලේ ඔය බ්‍රොයිලර් කුකුල්ලු හිටියේ නෑනේ... වැඩිපුරම විකිණුනේ බිත්තර තමයි.....

ඉතින් ලොක්කයියත් අතේ සල්ලි තිබුන විදියට කිකිලියෝ ටිකකුයි ලොකු කුකුලෙකුයි අරගෙන වැඩේ පටන් ගත්තා...  

මේ අතරතුරේ පොර පාඩි පොඩි සයිඩ් බිස්නස් එහෙමත් කරා.... ඒ අතරට තාත්තගේ රබර් ‍රොටී හොරකම් කර විකිණීම, අහල පහල කුකුල් කොටු වලින් කුකුල් පැටව් හොරකම් කිරීම වගේ දේවලුත් තිබ්බා. ‍මොනවා කරන්නද ඉතින් ඉක්මනට සල්ලි හොයන්න එපායැ.... 

මේ අතරේ පොඩි මහත්තයාට නමන්ගේ පළමුවන නම්බුනාමය ලැබුනා....... 

"කුකුල් ‍‍පොඩි මහත්තයා"

මොනවා කරන්නද ඉතින්... ඒකාලේ කීවේ දරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් දෙමව්පියන් වගකියන්න ඕනේ කියලනේ...... හැබැයි ගමේ කට්ටිය මේක වැඩිය ප්‍රසිද්ධ කරේ නැනි නිසා ලොකු අවුලක් උනේ නෑ.

ඒ එක්කම දවසක තමයි ලොක්කයියගේ තාත්තට ලෙඩෙක් බලන්න කොළඹ එන්න සිද්ධඋනේ......

තාත්තා : පොඩි එකෝ මට බිත්තර 10ක් විතර කවරෙක දාලා දියන්කෝ.... xxxxxx බලන්න යන්න
ලොක්කයියා : රුපියල් 10ක් දෙන්න තාත්තේ
තාත්තා : ඈ.... ‍යකෝ මම උඹගේ තාත්තා නේද? මගෙනුත් සල්ලි ගන්නවද????
ලොක්කයියා : මොනවා කරන්නද තාත්තේ... තාත්තමනේ කීවේ ලක්‍ෂයක් හොයලා පෙන්නන්න කියලා.... තාත්ත ඒ කොන්දේසිය අයින් කරනවනම් මම නිකන් බිත්තර දෙන්නම්.....

එතනින් එහාට මොකද උනේ කියලා ලොක්කයියා කවදාවත්ම අපිට කීවේ නෑ...... 

ලොක්කයියගේ පරණ යාළුවෙක් නම් දවසක් අපිට කීවේ පොඩි මහත්තයා උනත් ඉවසන එකේ සීමාවක් තියනවා කියලා එදා තේරුම් ගත්ත ලොක්කයියා දවස් කීපයක් පිටිපස්සේ තිබුන තුවාල වලට බෙහෙත් කරා කියලයි.......

1 comment:

  1. හික් හික් . . කුකුල් පාලනේ නං හරිය කියමුකෝ . . . සයිඩ් බිස්නස් ටික ????

    ප.ලි.
    අපේ ගමෙත් කුකුල් පාලනය සිරාවටම කරපු බුවෙක් හිටිය . . . බුවාට ගමේ ලැබුන නම්බුනාමය තමයි . . ."නරියා" හේතුව බුවා පාලනය කලේ අනුංගෙ කුකුල් කො‍ටු නිසා . . .

    ReplyDelete