Wednesday, February 11, 2015

පූසා ගහේ බැඳීම හ‍ා pk....

ඊයෙ රෑ ඉන්න ගමන් pk හින්දි චිත්‍රපටිය බැලුවා..... 



මම කොහොමටත් හින්දි චිත්‍රපටි වලට වැඩි කැමැත්තක් නෑ.... මම අන්තිමටම සම්පූර්ණයෙන්ම බැලුවෙ "3 Idiots"..... ඒ හින්දමත්, ගොඩක් අය හොඳයි කියපු නිසාත්, මේක download කරගත්තා. නිකමට වගේ රෑ 10ට විතර උඩින් පල්ලෙන් බලලා ඔය කියන තරම්ම හොඳයිද කියලා හොයන්න හදපුඑක නැවතුනේ සම්පූර්ණයෙන්ම film එක බලල ඉවරවෙලා. කොහොම හරි නිදාගන්නකොට පාන්දර 1ත් පහුවෙලා.

pk කතාව ගොඩක් අය දන්න (හා බලලා තියන) නිසා ඒ ගැන කියන්න යන්නේ නෑ.... ඒත් මට මේ කතාවෙදි  හිතට වැදුනේ PK දෙවියන් හොයන්න යනකොට මුහුණදෙන සිදුවීම් හා ඔහු උපුටා දක්වන තේරුමක් නැති විකාර/වැරදි පූජාවිධි, දෙවියන්ගේ නම කියලා කරන මිනිස්සු රැවටීම් වගේ ඒවා. මේ දේවල් PK අර්ථදක්වන්නේ මේ ලෝකේ ඉන්න "දෙවියන්ගේ මැනේජර්ලා Wrong Number එකකට කථා කරනවා" කියලයි. 

ඇත්තටම මට මේ දේවල් දකිද්දී සිහිය‍ට ආවේ අපේ චන්දරේ අයියා ටික කාලෙකට කලින් කියපු "පූසා ගහේ බැඳපු කතාව". දන්නවත් ඇති... එත් දැන් ඒ කතාවත් කියලම ඉන්නම්කෝ....

එක ගමක තිබුන දේවාලෙක කපුවෙක් හිටියලු..... මේ පුද්ගලයා බොහොම භක්තියෙන් දෙවියන් අදහලා පුදපූජා කරපු කෙනෙක්. 

උදේම අවදිවෙන කපුවා මුලින්ම කරන්නේ දෙවියන්ට පූජාව පිළියෙල කරන එක... ඊට පස්සේ ගිහින් නාලා එහෙම පිරිසිදු වෙලා ඇවිත් පූජාව තියනවා. 

දවසක් මේ කපුවා පූජාව තියන්න නාගෙන එහෙම එනකොට දකිනවා, අර පිළියෙල කරපු පූජාව ගෙදර හිටපු බළලා (නො‍හොත් පූසා.... නැතිනම් පොශ් විදියට 'කිටියා') අවුල් කරලා දාලා තියෙනවා. අනේ ඉතින් මේ පුද්ගලයට ආයෙත් අළුතින් පූජාව සකස් කරන්න වෙනවා.

ඊට පහුවදාත් පූජාව පිළියෙල කරන කපුවා, අදත් පූසා පූජාව අවුල් කරයිද දන්නේ නෑ කියලා හිතලා කරනවා පොඩි වැඩක්.... පූසව අල්ලන් ඇවිත් දේවා‍ලෙ ලඟ ගහක ලණුවකින් බඳිනවා කොහවත් යන්න බැරිවෙන්න.... ඊට පස්සේ පොර නාගෙන එහෙම ඇවිත් පූජාව තියලා ඉවර වෙලා පස්සේ පූසව ලිහල දැම්මා.

දැන් මේ වැඩේ දිගටම පුරුද්දකට යනවා.... 

කපුවා උදේම අවදිවෙලා පූජාව පිළියෙල කරනවා ...> පූසව ගහේ බඳිනවා ...> නාගෙන එනවා ...> දෙවියන්ට පූජාව තියනවා ...> පූසව ලිහල අරිනවා.

මෙහෙම ටික කාලයක් ගියහම කපුවා තමන්ගෙන් පස්සේ දේවාලේ වැඩකටයුතු ටික දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න, තමන්ගේ පුතාවත් පුරුදු කරන්න එක්ක එනවා.... කොල්ලත් තාත්තා කරන දිහා බලාගෙන ඒ වැඩකටයුතු පුරුදු වෙනවා.

තවත් ටික කාලෙකින් කපුවා මැරෙණවා.... පුතා තමයි දැන් දේවාලේ අළුත් කපුවා... කොල්ලා දැන් තාත්තා කරපු විදියටම භක්තියෙන් ඒ දේවල් කරගෙන යනවා... උදේ පූජාව තියන එකත් එහෙමමයි......

උදේම අවදිවෙලා පූජාව පිළියෙල කරනවා ...> පූසව ගහේ බඳිනවා ...> නාගෙන එනවා ...> දෙවියන්ට පූජාව තියනවා ...> පූසව ලිහල අරිනවා.

දැන් මෙහෙම තවත් ටික කාලයක් යද්දි මාර කේස් එකක් වෙනවා... පූසා මැරෙණවා..... දැන් කොල්ලට තාත්තා කරපු විදියටම පූජාව තියන එක ගැන පොඩි ප්‍රශ්ණයක් එනවා.... මොකද පූසා නෑනේ.. ඒ නිසා මිනිහා කරන්නේ මේකයි....

උදේම අවදිවෙලා පූජාව පිළියෙල කරනවා ...> අල්ලපු ගෙදර පූසව අරන් ඇවිත් ගහේ බඳිනවා ...> නාගෙන එනවා ...> දෙවියන්ට පූජාව තියනවා ...> පූසව ලිහල අරිනවා...........

මොකද කොල්ලා වැඩේ බලාගෙන හිටියට කවදාවත් හේතු ඇහුවේ නෑ.... තාත්තටත් ඒ ගැන කියන්න අමතක උනා.....

මේ වගේම, අපි කොච්චර අපේ ආගම ගැන ආඩම්බර උනත් (‍මම මේ කියන්නේ එකක් ගැන නෙමේ.... පොදුවේ හැම එකක්ම) ආගමේ නාමයෙන් අපි කරන සමහර දේවල් අර PK කියන විදියටම Wrong Number එකකට කථා කිරීමක් කියලා හිතෙන්නේ නැතිද??????

අනේ මගේ වැරැද්දක්ද දන්නේ නෑ... මට නම් ගොඩක් වෙලාවට එහෙම හිතෙනවා.... (අපේ ලොකු අක්කා නම් මේකට මට කියන්නේ "තොගේ මොළේ ඇදයි" කියලා). ඒ වගේම මම ඒ ගැන කලිනුත් ලියලා ති‍යෙනවා.

හිතන්න........................


ප.ලි.

pk එකේ පෝස්ටර් දෙකකටම මම හරි කැමතියි... ඒවා අපේ ගොඩක් අයට නියමෙට ගැලපෙනවා.... 

එකක් තමයි ඔය උඩ තියෙන්නේ.... ඒකේ වගේම අපේ "ගොඩක් මහත්තුරු උඩට ටයි කෝට් ඇඳලා හිටියට යටට ඇදලා ඉන්නේ සායවල්....."

අනික තමයි මේ.....

"හොඳ මනුස්සයෙකුගේ ඇඳුම් ගලවලා ඔවුන්ව ජනතාව ඉස්සරහා නිරුවත් කරන්නත්, නිරුවතින් ඉන්න අයෙකුගේ (දූෂිතයෙකුගේ) නිරුවත වහන්නත්, හැමදාම මුල් වුනේ/වෙන්නේ අපේ ජනමාධ්‍යම තමයි....."

8 comments:

  1. පුසා ගහේ බඳින කතාව මරු!

    ReplyDelete
    Replies
    1. ආගම් පැත්තකින් තියන්නකෝ. අපේ රජයේ කාර්යාල වලත් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඔය පූසා ග‍හේ බැන්දා වගේමනේ....

      Delete
  2. ආගම කියන්නේ නම් ඉතින් ගොඩක් අදෘශ්‍යමාන බලවේගවලට ඉඩ සලසන සංකල්ප.ඉන්දියාවේ මෙය දැඩිව පවතිනවා තාමත්.සමහරු අද දර්ශනයයි.ආගමයි පටලවා ගන්නවා.බොහෝ දාර්ශනිකයන් දෙවියන් යනු තමාම බව කියලා තියෙනවා.දේව සංකල්පය ප්‍රතික්ශේප කරපු බුදුන් වහන්සේත් හොද දාර්ශනිකයෙක්.උන් වහන්සෛ්ගේ දර්ශනයත් අද ආගමක් බවට පත් කරගෙන.දර්ශනය නෑ...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝමත් ඒකට සුළුවෙන් හරි වගකියන්න ඕනේ කියලයි මම හිතන්නේ.... හොඳම උදාහරණේ තමයි අපි පුරුද්දට හැමදාම බුදුන් වඳිනකොට පන්සිල් කියනඑක.... අපි තේරුම් ගන්නේ නැතිදේ තමයි පන්සිල් තියෙන්නේ බුදුන් වඳිනකොට කියන්න නෙමෙයි පිළිපදින්න කියලා....
      මේවා අපේ අධ්‍යාපන ක්‍රමය තුලින්ම හැදෙන්න ඕනේ. පාසල් විතරක් නෙමේ දහම් පාසල්ද ඇතුලත්ව...

      Delete
  3. හිහි පූස්....
    ඔයා ට වෙලාවක් හම්බුනොත් බලන්න ඕහ් මයි ගෝඩ් ඒකත් පීකේට කලිං ආව ආගම් උපහාසාත්මක කතාවක්... පීකේ තරම් දැඩි විහිළු නැති වුණත් පොඩි කික් එකක් තියෙන කතාවක්....
    හැබැයි මීට වඩා සැරයි...
    පූසට හොද වැඩේ හිහි

    ReplyDelete
    Replies
    1. වැඩේ කියෙන්නේ දැන් කොල්ලගේ ගොන්කමට දුක විඳින්නේ අල්ලපු ගෙදර පූසනේ බන්. උෟ අර මැරිච්ච පූසගේ අම්ම තාත්තටත් බනිනව ඇති... හි හි....
      film එක ගැන කීවට ස්තූතියි... මම හොයාගෙන බලන්නම්.
      ජය වේවා...!

      Delete
  4. PK චිත්තරපටිය රස විඳින කෙනෙක් බැලිය යුතුම චිත්තරපටියක් තමා "OMG – Oh My God!". හින්දි බයිස්කෝප් වල සාමාන්‍යයෙන් දුෂ්ඨ නළුවෙක් වන පරේෂ් රාවල් තමා මේකේ ප්‍රධාන නළුවා.

    [i]http://upload.wikimedia.org/wikipedia/en/thumb/e/e0/OMG_Poster.png/220px-OMG_Poster.png[/i]
    මේක ඉංගිරිසි බයිස්කෝප් එකක කොපියක්, මම දන්න තරමින්.
    (ඉංගිරිසි එක බැලුවා වගේ මතකයි - නම මතක නෑ)

    රක්‍ෂණ ක්‍රම "Act of god" ආවරණය නොකරන නිසා "gods" ට විරුද්ධව නඩු යන සීන් එකක් තමා තියෙන්නේ.

    ReplyDelete
  5. Mamath heta indala puusawa gahe bandinawa... Lol

    ReplyDelete