Monday, November 17, 2014

පුහුල් හොරා ඇප ගනී...

එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල් වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්‍රධානියෙකුගෙ උපදෙස් පිට අර ගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේම ගියා. මේ ප්‍රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තම ගෙයින් එළියට ආ එක මිනිහෙක් ගොවිරාල "පුහුල් හොරා කරෙන් දැනේ" කියනකොටම තමන්ගේ කර පිසදැමුවා. එවිට මෙයා තමයි පුහුල් හොරා කියලා ගමරාලයි ගම් ප්‍රධානියයි මිනිහව අල්ලගත්තා.



ඔය අපි පොඩිකාලේ ඉඳන් දන්න කතාවනේ..... ඊට පස්සේ මොකද උනේ????? 

අද එතැන් සිට...

අල්ලා ගත්තු මිනිහ එදා හවසම රක්‍ෂිත බන්ධනාගා‍ර ගත කළා. අනුන්ගේ දේපලක් සොරා ගැනීමේ වැරැද්දට සැක කරල. දින දාහතරකට පස්සේ නීතීඥ පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් සැකකරුට ඇප ඉල්ලුවා‍.

පුහුල් හොරකමට අදාල පරීක්‍ෂණ තවම අවසන් වී නොමැති නිසාත්, තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසාත්, සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතීඥවරු සිය විරුද්ධත්වය ප්‍රකාශ කළා. මෙම සැකකරු ඇප මත නිදහස් වුවහොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අයුතු බලපෑම් සිදුකළ හැති බවත් නීතීඥවරු ප්‍රකාශ කළා.

විත්තියේ නීතිඥවරු කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ සිදුකරන ආකාරය ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි. තවමත් සිද්ධියට අදාළ පුහුල් ගෙඩියවත් අත්අඩංගුවට ගෙන නැතැයි ඔවුන් දන්වා සිටියා.

පුහුල් ගෙඩියේ නැට්ට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර 'ගෙඩිය' ඉදිරි දින කිහිපය තුල අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා.

තම සේවාදායකයා හතරපෝයට අටසිල් සමාදන් වන වාර්ෂිකව වට වන්දනාවේ යෙදෙන උපාසක කෙනෙකු බවත්, ඔහු බන්ධනාගාර ගත කළහොත් ඔහුට ඉන් අගතියක් සිදුවිය හැකි බවත් විත්තියෙන් පැවසුනා. සැකකරු සැඟවීමට උත්සාහ නොකොට සීනු හඬට ඉදිරියට පැමිණීමෙන් ඔහුගේ අවංකභාවය පෙන්වා ඇති බැව්ද විත්තියෙන් පුකාශ කළා. 

සැකකරුගේ අවංකභාවය සැකයට තුඩුදෙන කරුණක් බවත්, ගොවිරාල ඉදිරිපිටදීම කර පිස දැමීමෙන් එය පැහැදිලි බවත් පැමිණිල්ල දක්වා සිටියා. පුහුල කර නොගැසුවා නම් කර පිසදැමීමේ අවශ්‍යතාවය කුමක්දැයි නීතිඥතැන විමසා සිටියා.

තම සේවාදායකයා එදා කර පිසදමා ඇත්තේ ඩෙංගු මදුරුවන් වසා ඇතැයි වූ බිය නිසා විනා අළු පිසදැමීමට නොවන බවත්, අවශ්‍ය නම් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට වුව යොමු කළ හැකි බවත් විත්තිය පුකාශ කළා. හොරකම සිදුවීමෙන් පසු ගමරාල හැසිරී ඇති ආකාරය නීත්‍යානුකූල නොවන බවත්, බැරිවීමකින්වත් සීනු නාදයට විශාල පිරිසක් එක් රැස් වූයේ නම් හදිසි නීති රෙගුලාසි පවා උල්ලංඝනය වීමට ඉඩ තිබූ බවත් විත්තිය දන්වා සිටියා. එබැවින් ගමරාලවත් අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත් පැවසුවා.

දීර්ඝ විභාගයකින් අනතුරුව සැකකරු ඇප මත නිදහස් වූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමටත්, සෑම ඉරු දිනකම පෙරවරුවේ ළඟම ඇති පොලීසියේ පෙනී සිටීමටත් නියෝග කෙරුනා.

“දැන් තමන්ට ගෙදර යන්න පුළුවනි ඊලඟ දිනේට නොවරදවා උසාවි එන්න” විත්තියේ නීතිඥ සැකකරුට කිව්ව.

“අපොයි! සර් එහෙම කොහොමද පහුගිය සුමාන දෙකේ පාවිච්චි කරපු හෑන්ඩ් ෆෝන් එකයි, කලර් ටීවී එකයි, ඇඳ ඇතිරිලි ටිකයි භාර දීල ඒ මහත්තුරුන්ට පින් දෙන්න එපැයි” කියූ පුහුල් හොරකමේ ප්‍රධාන සැකකරු බන්ධනාගාර බස් නැවතුම්පොළ දෙසට දිවිවා.


ප.ලි

මේක දැක්කේ පරණ පත්තර කෑල්ලක. මොන පත්තරේද, දිනේ කවදද කියලා හොයාගන්න බෑ. තිබුනේ "අතුල ජයසිංහ" කියන නම විතරයි. ස්තුතිය ඔහුට.....

6 comments:

  1. හුහ්..හැක්.. ගුගල් කරානං හොයාගන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. හෙව්ව බං හම්බවුනේ නෑ...

      Delete
  2. මේ අතරෙ තව කට්ටියක් ගේමට බැහැල. මිනිස්සුන්ට කන්න නැති නිසා මිනිස්සු හොරකම් කරනව කියනව, සමස්ත ලන්ක අලුපුහුල් වගාකරන්නන්ගේ සන්ගමය සිද්දියට විරොදය දක්වල වර්ජනය කරනව, අලුපුහුල් වෙලදපොලට දාන්නෙ නැත්නම් අලුපුහුල් ආනයනය කරනව කියල වෙලද ඇමතිය කියනව....

    ReplyDelete
    Replies
    1. ඇයි දේශද්‍රෝහී විජාතික බලවේගයන්ගෙන් අළු පුහුල් ආරක්‍ෂා කරදෙන ලෙස රජයට බල කරමින් කට්ටියක් අඛණ්ඩ උපවාසයක් කරනවා........

      Delete
  3. මින්..............

    ඔය රූපය තියෙන කතා පොතක් පොඩිකාලේ මට තිබුණා.. දැක්ක ගමන් ඒ්ක මතක් වුණා.....මට මතක විදිහට ඒක කිරිපිටි පැකට් ඒකක් අැතුලේ තිබිලා ලැබුණ ඒකක්..... හරිම ලස්සනයි ඒ මතකය....................
    ස්තූතියි ඒකාලය අායෙමත් මතක් කරාට........................

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මටත් දැන් මතක් වුනේ... මටත් පොඩිකාලේ ලැබුනා. මම හිතන්නේ නෙස්ප්‍රේ වලින්... මතක් කලාට ස්තූතියි. ජයවේවා....

      Delete