වෙල්කම් බෑක්... දැන් මේ කියන්න යන්නේ අපේ ගමනේ දෙවෙනි දවස ගැන.
දෙවෙනි දවසේ උදේ පාන්දරම අපි දෙන්නා ඇහැරලා එදා දවසේ මොකද කරන්නේ කියලා කතාවුනා. පාන්දර කියුවට ඉතින් පාන්දරමත් නෙවේ 7ට විතර. මොකද කලින් දවසේ රෑ 12 විතර වෙනකන් කාලා බීලා නේ ආවේ, ඒ නිසා ටිකක් නින්ද ගියා. කොහොමින් කොහොමින් හරි ඒ කේස් එකෙන් මම පාන්දර ඉර පායනවා බලන්න බීච් එකට යන්නම් කියලා හිතාගෙන හිටපු එකත් මිස් වුනා.
කොහොම හරි අපි දෙන්නට ඒ දවස්ටිකේ එක තැනක ඉන්න බැරි ලෙඩකුත් තිබුනා. මම නිකමට වගේ ඇහුවා යමුද ට්‍රින්කෝ පැත්තේ කියලා, තුෂාරිත් එක පයින් කැමතිවුනා. දැන් ප්‍රශ්ණේ ගිහින් නවතින්නේ කොහෙද කියලා. එතකොට තුෂාරිට මතක්වුනා එයාලගේ අක්කා කෙනෙකුගේ පුතෙක් ට්‍රින්කෝ පොලිසියේ ඉන්නවා කියලා. ඒපාර කතාකරා අයේෂ් පුතාට. හැබැයි පොර ඒ වෙනකොට හිටියේ කොළඹ. ඒත් ලොකු ප්‍රශ්ණයක් උනේ නෑ එයා එහෙ හිටපු යාළුවෝ කීප දෙනෙක්ට කතා කරලා අපිට ඉන්න තැනක් ලැහැස්ති කරලා දෙන්නම් කීවා.
එදා වෙසක් පෝය දවස නිසා අපි උදේම පන්සල් යමු කියලා තමයි කතාවෙලා තිබුනේ. අයියලත් ටිකකින් අපි ඉන්න තැනට ආව නිසා අපි කට්ටියම එක වාහනේක දීඝවාපි විහාරයට යන්න පිටත්වුනා, ඩ්‍රයිවර් මම. අපි කවුරුවත් තාම උදේට කාලා හිටියේ නෑ. වෙලාව ඉතිරි කරගන්න ඕනෙනිසා යන ගමන් ඔය කඩේකින් බන්ස් මොනවා හරි අරගනිමු කියලයි කතාවුනේ. කරුමෙ කියන්නේ එතන ඉඳන් දීඝවාපිය ලඟට යනකල්ම එක කඩේකවත් කන්න බනිස් තියා සීනි බෝලයක්වත් නෑ කියහන්කෝ.
දැන් 8ත් පහුවෙලා. පාර පේන්නේ නැති තරමට බඩගිනියි. එකපාරටම අපි දැක්කා පාර අයිනේ තෙල්, හඳුන්කූරු විකුණන්න හිටිය ඇන්ටි කෙනෙක්ට පිටිපස්සෙන් රොටී, ෂෝර්ට්ඊට්ස් තියන පොඩි ශෝකේස් එකක්. දෙයියො දැක්ක වගේ එතන නවත්තලා ආයෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අර ශෝකේස් එකට බැස්ස අපේ කට්ටිය රොටි කනවා. රොටියෙ බාගයක් විතර බඩට යනකොට ටික ටික ඇස් පේන්න පටන් ගත්තා. මෙන්න බොලේ ඊට ටිකක් එහා පැත්තේ තව කඩයක් තියනවා. එතන උණු උණු රොටි, වඩේ, රෝස්පාන් වගේ නානාප්‍රකාර ජාති තියනවා. හොඳම වැඩේ කියන්නේ අපි ඒ කඩේ පහුකරගෙන තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ.
දැන් මොනවා කරන්නද, අපි මෙතනින් කන්න පටන් ගත්තනේ කියලා අක්කා කියුවත්, මටයි අයියටයි වඩේ එක්ක රෝස්පාන් කන්න පෙරේතකමක් ඇවිදින් හිමිහිට ඒ කඩේ පැත්තට සෙට් වුනා. ගිහින් ආපහු හැරිලා බලද්දී මෙන්න අපේ ඔරිජිනල් වඩේ රෝස්පාන් ලවර් හෙවත් තුෂාරිත් ඇවිදින් කියන්නකෝ අපි පස්සෙන්ම. අපරාදෙ කියන්න බෑ අපි එතනිනුත් වඩේ, රෝස්පාන්, උණු රොටී, පැටිස්, සව්බොර කාලා තේත් බීල අහල පහල බල්ලන්ට කපුටන්ටත් රෝස්පාන් අරන්දීල තමයි පිටත් උනේ. එනතදි අපිට ආනන්ද කියලා පොලීසියේ මහත්තයෙකුත් සෙට්වුනා. බලද්දි එයා අපේ ගමේ. දැන් වැඩ ඒපැත්තේ.
ඔන්න ඉතින් බඩ පුරවගෙන බෙහෙතුත් බීපු අපි (අපි හැම එකාම මේ දවස්වල දුවන්නේ බෙහෙත් උඩනේ... කොහෙද ඉතින් කට පරිස්සම් නෑනේ...) තෙල් මල් හඳුන්කූරු අරගෙන දීඝවාපිය වඳින්න ගියා. දීඝවාපිය ලඟටම යනකොට එතනත් පොඩි අය සෙට් එකක් කරන ෂෝක් මල් දන්සලක්. එතනිනුත් මල් හම්බවුනා.
කොහොම හරි දීඝවාපියේ තව පැයක් විතර ඉඳලා අපි ආපහු එන්න පිටත්වුනා. එහෙම එන අතරමගදී තව බෝඩ් එකක් දැක්කා ‘පරිවාර දීඝවාපිය’ කියලා. කවදාවත් එහෙම තැනක් ගැන අහලවත් තිබුන නැති නිසා ඒ මොකද්ද කියලා බලන්න හැරෙව්වා ඒ පැත්තට.
පරිවාර දීඝවාපිය පරිවාර දීඝවාපිය
එතන තිබුන පන්සල ලොකු ගලක් මුදුනේ හදපු චෛත්‍යයක් එහෙම තියන එකක්. ඒත් ගොඩක් පරණයි කියලා තේරුනේ නෑ නමුත් හොඳ නිස්කලංක ගතියක් තිබුනා. හැබැයි පොඩි දේශපාලනේ ගෑවිච්ච සීන් එකකුත් තිබුනා කියලා තේරුනා, මොකද පැත්තක අයින් කරලා තිබුන කටවුට්ස් වගයක් නිසා. අපි එතනිනුත් එලියට එනකොට අයිස්ක්‍රීම් විකුණන මරු ක්‍රියේටිව් පොරක් දැක්කා. අනිත් අය සාමාන්‍ය විදියට විකුණද්දි පොර විකුනුවේ රස කීපයක අයිස්ක්‍රීම් අපි ඉල්ලන වර්ග වලින් මිශ්‍රකරලා කප් එකක දාලා. අපි ඉතින් මහන්සිය යන්න අයිස්ක්‍රීම් එහෙමත් කාලා ආපහු එන්න පිටත්වුනා.
යනකොට බඩගින්න නිසා නොපෙනුන ලස්සන කුඹුරු යායවල් දැන් තමයි අපිට පේන්න ගත්තේ. පේන තෙක් මානේ තිබුනු කුඹුරු යායවල් එක්ක ඒ අතරින් යන ඇල පාරවල් සහ ගුරු පාරවල් එක්ක, ඇත්තටම ඒ හරිය නිකන් අපි ඉස්සර දැකලා තියන පරණ ගම් වගේ පෙනුනේ.
ඒවත් බලාගෙන, අතර මග හම්බවුන බීම දන්සලකින් බීමත් බීලා අපි ආපහු එනවා. නෑනලා දෙන්නා පිටිපස්සේ සීට් එකට වෙලා බර ඕපයක් දිග අරිනවා. අයියයි මායි නම් ඇත්තටම වැදගත් ශ්‍රාස්ත්‍රීය කතාවක ගියේ. ඒ කියන්නේ ‘මේ කුඹුරු වලට බෙහත් පොහොර ගහන්න ඩ්‍රෝන් පාවිච්චි කරන්න බැරිද?’, ‘ඒවා ඔටෝමේට් කරන්න පුළුවන්ද?’, ‘ඒ වගේ දේවල් ආණ්ඩුවට කරන්න බැරි ඇයි’, ‘එහෙම කරන්න ගියොත් ඒ ප්‍රොජෙක්ට් ෆේල් වෙන්න පුළුවන් හේතු මොනවද?’, වගේ දේවල්. මේ අතරේ අයියා එක පාරටම කියනවා මල්ලි ඔයා නම් මේ පෝය දවසේ ලොකු පිනක් කරගන්නේ... කියලා. අපි බැලුවා එකපාරටම ඒ මොකක්ද කියලා. ඒතකොට පොර කියනවා ‘නෑ අද මම වාහනේ ඩ්‍රයිව් කරානම් මේ වෙනකොට අක්කගෙන් සිය පාරක් විතර බැනුම් අහලා... සෑහෙන කාලෙකට පස්සේ මම මේ කනක් ඇහිලා නිදහසේ ගමනක් යන්නේ’ කියලා.
කොහොමින් කොහොමින් හරි අපි ආයෙ කල්මුණේට ඇවිදින්, යන්න කලින් අවසාන වතාවටත් පොඩි ෂොපින් පාරක් ගියා. ඒ පාර ගියේ සපත්තු කඩ වලට. උන්ගේ සර්විස් නම් පට්ටයි හොඳේ. එක කඩේක කොල්ලෙක් මම දුඹුරු පාට සපත්තු දෙකක් බලලා මට ඕනෙ විදිහේ එකක් නෑ කියුවහම මට පස් හය පාරක්ම ඇතුලෙන් එක එක ඩිසයින් ගෙනත් පෙන්නුවා. අන්තිමේ මටම ඇතිවෙලා යන්න කියලා කඩේ දොර ලඟට යනකොට, මෙන්න මූ ආයෙත් පස්සෙන් දුවගෙන ආවා තවත් සෙට් එකක් අරගෙන. අන්තිමේ පොර මට යන්න දුන්නේ මගෙ හිතේ තියෙන්නේ මොනවගේ සපත්තු දෙකක්ද කියලා අහගෙන, කඩේ අයිතිකාරයට ආයෙත් සපත්තු ගෙන්නනකොට ඒ විදියේ ඒවා ගෙන්නන්න ඕනෙ කියලත් කියුවට පස්සෙයි.
දැන් අපි කල්මුණෙන් පිටත් වෙන්න ඕනෙ වෙලාවත් ඇවිදින්. දවල්ට අපේ කොල්ලගේ රෙකමන්ඩේශන් එකක් මත සුපිරි බුරියානියක් කෑවා Kaldeen Restaurant කියලා එකකින්. අයිස් ක්‍රීම් කන්න කියලා ගියහම Ice Age වහලා නිසා ඒ සිහිනය බොඳවෙලා ගියා. ඉතින් ඊට පස්සේ අපි අපේ ඊලඟ නැවතුමට යන්න පිටත්වුනා. මඩකලපුව, කල්කුඩා, වාකරේ හරහා ත්‍රිකුණාමලය. යන්න කලින් මගදි බොන්න ප්ලාස්ක් එකට ප්ලේන් ටී එකකුත් හදලා දාගන්න අමතක කලේ නෑ.
යන අතරතුර අයිස්ක්‍රීම්, බීම වගේ දන්සල් කීපයක් හම්බවුනත් ලොකු එකකට කියලා හම්බුනේ ට්‍රින්කෝ කිට්ටුවම තිබුන රොටි දන්සල විතරයි. ඊට අමතරව යන පාර අයිනේ දං, වීර, පලු වගේ දේවල් විකුණන පොඩි එවුන් නම් හරියට හිටියා. හොඳම සීන් එක තමයි උන්ට සිංහල බෑ, අපිට දෙමළ බෑ, දෙගොල්ලන්ටම ඉංග්‍රීසි බෑ. ඒත් ඉතින් යන්තං ඔන්ඩු රෙන්ඩු පුළුවන් නිසා උන්ගෙන් බඩු ගත්තා. ඇත්තටම එදා මට හිතුනා දෙමළ ඉගනගත්තේ නැති එක ලොකු අඩුවක් කියලා.
කොහොම හරි අපි හවස 5 විතර වෙනකොට ත්‍රිකුණාමලයට සැපත්වුනා. අපිට නවතින්න තිබුනේ Sky Route Lodge කියලා ට්‍රින්කෝ පොලීසිය ලඟම පොඩි තැනක්. තැන හොඳයි, නිදහස්, අළුතින් හදපු රූම්ස්, පොඩී අවුලකට තිබුනේ රූම් තිබුනේ දෙවෙනි තට්ටුවේ වෙචිචි එක විතරයි.
අපි දෙන්නා ටිකක් මහන්සි ඇරලා ට්‍රින්කෝ ටවුන් එක පැත්තට ගියා රෑට කෑම කන්නත් එක්කම. තුෂාරි ඉස්සල්ලාම කලේ ප්ලාස්ටික් බඩු විකුණන කඩේකට ගිහින් තේ හදන්න ලොකු කෝප්පයක් ගත්ත එක. මොකද එයාට උදේ ටී එක බොනකන් පොඩි මොලේ වැඩ කරන්නේ නැති ගතියක් තියනවා. තේක බීවට පස්සේ තමයි සාමාන්‍ය විදියට ඇක්ටිව් වෙන්නේ. මට නම් ඉතින් ඔය කෝකත් එකයි, මම තේ බොනවට වඩා කැමති නොබී ඉන්න.
කොහොමහරි අපි ට්‍රින්කෝ බීච් එක පැත්තට යනකොට මෙන්න තියනවා බීච් එක පාරේ අයින දිගට ‘Street Foods’. අපි දෙන්නත් ඉතින් වාහනේ පැත්තකින් නවත්තලා කොනක ඉඳන් කන්න පටන් ගත්තා. බඩ පුරවගෙන, මහ රෑ කළුවරේ මුහුද පෙනෙන්නේ නැති වුනත් අපි බීච් එකටත් ගියා. හැබැයි සෙනඟ නම් සූ ගාලා.
Street
Foods
එතනින් ටිකක් මෙහාට
එනකොට තමයි දැක්කේ ටවුන්එක මැද තිබුන ග්‍රවුන්ඩ් එකේ ලොකු තොරණක් තියනවා. කිට්ටුවට
යනකොට පේනවා ග්රවුන්ඩ්එක ඇතුලට යන තැනත් ලොකු තොරණක් ගහලා ‘සහෝදරත්වයේ වෙසක්
මංගල්‍යය’ කියලා. එතන සම්පුර්ණ වෙසක් කලාපයක්. තොරණ, වෙසක් කූඩු මදිවට අලි කානිවල්
එකකුත් තියනවා. ඇතුලට යන්න තියා හිතන්නවත් බෑ ඒ තරමට සෙනඟ. වාහනයක් නවත්තන්නවත් ඉඩ
නෑ. ඒත් ඉතින් අපේ තුෂාරිත් අර මැප් ගිලපු පොරක් නිසා, එයාගේ මග පෙන්වීම යටතේ මම පිටිපස්සේ
සර්විස් එන්ට්‍රන්ස් එකක් වගේ තැනකින් ග්‍රවුන්ඩ් එක ඇතුලට වාහනේ දාලා තොරණ
පාමුලින්ම පාර්ක් කරගත්තා කියන්නකෝ. මම හිතන්නේ ඒක තමයි ඒකාලේ අය කියල තියෙන්නේ
‘ඉඳල හිටල හරි වයිෆ් කියනදේත් පොඩ්ඩක් අහන් ඕනේ’ කියලා.
Trinco වෙසක් සහෝදරත්වයේ වෙසක් කූඩු තොරණ
අපි දෙන්නා ඉතින් තොරණ බලලා, වෙසක් කූඩු අධ්‍යයනය කරලා, කානිවල් එකෙත් රවුම් පහ හයක් ගිහිල්ලා, දැන් නම් ඇති හොඳටම මහන්සියි කියලා වෙලාව බලනකොට රෑ 11ටත් කිට්ටුයි. ඒ පාර එතනින් එලියට ආවත්, නිදිමතක් වත් නොතිබුන නිසා ආයෙත් ගියා බීච් එක පැත්තට. ගිහින් බීච් එකේ තිබුන බංකුවක වාඩිවෙලා අයිස් ක්‍රීම් එකක් කන ගමන් ඔහෙ කයියක් ගහගෙන හිටියා. අන්තිමේ හොඳටම නිදිමත වෙලා රූම් එකට එනකොට රෑ12ත් පහුවෙලා.
මේ කතාවේ තියන දුක හිතෙනම කෑල්ල තමයි, අපි දෙන්නා බඩගාගෙන වගේ අර තට්ටු දෙක නැගලා රූම් එක ඉස්සරහට ආවට පස්සේ රූම් එකේ යතුර වාහනේ දාලයි ඇවිත් තියෙන්නේ කියලා දැන ගත්ත එක.
හම්මේ... දෙවනි දවස ගැන මේ ඇති. තුන්වෙනි දවස ගැන නිදියලා ඇහැරුනාට පස්සේ කියන්නම්.
Good Night…!
No comments:
Post a Comment