Sunday, October 25, 2015

ආදරය...........

අපේක්‍ෂා, අපේක්ෂා කළ කිසිදු ප්‍රතිචාරයක් නලින්දගෙන් දක්නට නොවිණි. "මම කවුද" යනුවෙන් පමණක් ඔහු ප්‍රශ්ණ කලේය. අපේක්‍ෂා නිහඬය. අපේක්‍ෂා ඇඬූ කඳුළින් ඇඳ මත මුනින් අතට වැතිර සිටින්නීය....

---------------

"රෑ දහය වෙනකොට මාව නිදි කරවනව. අනේ නිදිමතයි කීවම මමත් නිදාගන්නවා උදේ වෙනකල් මිස් කෝල් එකක්වත් දෙන්නෙ නෑ. මේක තමයි හේතුව. නොදකිං මං වගේ කාලකන්නියෙක්." සුසුම් හෙළූ නලින්ද "ඇයි අපේක්‍ෂා මට මෙහෙම කරන්නෙ. මම ඩබල් ගේම් නොගහන එකේ පළියද මගෙන් ගන්නේ" 

----------------

"සොරි නලින්ද"

"සොරි කියන්න තරම් වරදක් ඔයා කළේ නෑ. වරද මගේ"

----------------

"ගෙදර ප්‍රශ්ණත් එක්ක කැම්පස් වැඩ හරියට කරන එක ප්‍රශ්ණයක්. එකක් මට සල්ලි නෑ. ශාලිත සර් තමයි ක්ලාස් ෆීස් ගෙවන්න සල්ලි දුන්නෙ. දැන් මාස අටක්."

එතෙක් සිටි තත්ත්වයට වඩා කිසිදු වෙනසකින් තොරව "ඒ වෙනුවට ඔයා එයාට දුන්නෙ මොනවද" ඇසීය

----------------

"ඔයාට ඕනෙ විදියකට මාව පරික්‍ෂා කරන්න කියල මම කියන්නෙ නෑ. මොකද අපි බඳිනවට වඩා වැඩි ඉඩක් තියෙන්නෙ එහෙම නොවී ඉන්න. හැබැයි මම තවම පිරිසිදුයි. අතින් අත අල්ලලාවත් නෑ" අපේක්‍ෂා තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට යත්න දරයි

"බඳින්න වෙන්න නෑ. මොකක්ද ඒ කථාව"

------------------

"ඩිග්‍රිය ඉවර වෙනකල් මට ඔයත් එක්ක ඉන්න දෙන්න. ඊට පස්සෙ ඔයා මොනව කලත් මම ඔයාගෙ ජීවිතේට ඇඟිලි ගහන්න එන්නෙ නෑ." අපේක්‍ෂා කීවාය "ඒ වෙනකල්, ඔයාට මගේ ඕන දෙයක් තියනවනම් කියන්න. හැබැයි...." අපේක්‍ෂා නිහඬ විණි.

----------------
--------
-------------
--------------------
-----------

අපේක්‍ෂා සොයා ගත යුතුය. නමුත් අපේක්‍ෂා සොයා ගැනීමෙන් අවසන අත්වන ඉරණම හෝ ජයග්‍රහණය කුමක්ද. නිධානයක් ගොඩ දමන්නට යත්න දරන්නෙකු සේ විවිධ සුක්‍ෂම උපක්‍රම භාවිත කරමින් තමා අපේක්‍ෂා සොයා සිටින්නේ ඇයි. දැන් අපේක්‍ෂා විවාහ වී ඇත. තමා ද විවාහ වී ඇත. බොහෝවිට තව මාසයකින් හෝ දෙකකින් රිහානා ගැබ්ගනු ඇත. ඇතැම් විට අපේක්‍ෂා දැනටමත් ගැබ් ගෙන සිටිනවා විය හැක. අපේක්‍ෂා සෙවීමේ ඵලය කුමක්ද. නලින්ද දිගින් දිගටම කල්පනා කරන්නට විය. තම ජීවිතයේ එක දෙයක් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් කිරීම වෙනුවෙන් දුක් විඳිමින් සිටින්නේ ඇයි.

---------------

"ඔයාගෙ හිතේ අදහසක් තියනවා ද නලින්ද ආයෙ කවදා හරි දවසක අපේක්‍ෂා ඔයාට හිමි වෙයි කියලා. ඒ කියන්නේ, මම අත ඇරලා ඔයා අපේක්‍ෂා ගාවට යන්න හිතාගෙන ඉන්නවාද"

"නෑ මට එක ප්‍රශ්නයක් තියනව අහන්න" නලින්ද දීර්ඝ වූ කල්පනාවකින් පසුව රිහානාට පිළිතුරු දුන්නේ ය.

"මොකක්ද" රිහානා තැන්පත් සිතින් විමසුවාය

...........................................................................................................

ප්‍රේමය 
කෙතරම් දේ කියා සිටියද 
ක‍ෙතරම් දේ අසා සිටියද 
කියා සිටීමට හෝ අසා සිටීමට නොහැකි වූ දෙයක් 
සෑම ප්‍රේම කතාවක ම ඉතිරිව ඇත
සෑම පෙම්වතෙකුම ද 
සෑම පෙම්වති‍යකම ද 
ඒ දේ කියා සිටීමට හෝ අසා සිටීමට 
මොහොතක් 
යලි කිසි දිනක උදා වන තුරු 
පෙරුම් පුරමින් සිටිති..... 


උපුටා ගැනීම - භාරත ප්‍රභාශණ තෙන්නකෝන්, 'අසමජ්ජාති ආදරය'



............................................................................................................

ඇත්තටම භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් ‘අසමජ්ජාති ආදරය‘ කෘතිය පාදක කරගෙන නිර්මාණය කල තේමා ගීයක් තියනවා



නමුත් කුමන හෝ හේතුවකට මට සැමදා දැනුනේ ඒ ගීය රළු වැඩි බවයි. 

අද අහම්බෙන් අහන්නට ලැබුනු ගීයක් අසන විට මට සිතුනේ 100% නොගැලපුනත් එය අපූරුවට මෙම කථාව හා ගැලපිය හැකි බවක්...


කෙසේ වුවත්,

සාහිත්‍ය ලෝකයේදී අප දකින ප්‍රේමය බොහෝ විට සුදු පැහැතිය කලාතුරකින් එය කළු පැහැතිය. නමුත් සැබෑ ලෝකයේ අප අත්දකින ප්‍රේමය එසේ සුදු හෝ කළු පැහැයෙන් අර්ථදැක්විය නොහැක සැබවින්ම පරික්‍ෂා කළහොත් එය අළු පැහැති බව ඔබට දැනගත හැක.... 
භාරත කෘතියට පාදකවී ඇත්තේ ඒ අළු පැහැති ප්‍රේමයයි. සැබවින්ම එය අසමජ්ජාති ආදරය නොව ආදරයේ යථාර්තයයි....

2 comments:

  1. ලස්සනයි......... පොත කියවන්න ආසා හිතුණා.............

    ReplyDelete
  2. මම හිතන්නේ සරසවි එකේ ගන්න තියනව‍ා. කැම්පස් ජීවිතය විඳලා තියනවනම්, පොතට අත තියනකොටම තේරෙනවා මේ කියන්නේ 100% ඇත්ත කියලා....

    ReplyDelete